ජනවාරියේ ක්‍රිකට් පිටිය හෙල්ලූ විශිෂ්ටයෝ

213

මෙම වසරේ ජනවාරි මාසයේ සිට සෑම මසකම විශිෂ්ට දස්කම් දක්වන ජාත්‍යන්තර ක්‍රීඩකයන් ඇගයීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පසුගිය දා තීරණය කළා. ICC Cricketer of the Month ලෙසින් එය හැඳින්වීමටත් නියමිතයි.

වසරේ පළමු මාසය අවසන් වීමට තවත් දින කීපයක් ඉතිරිව තිබිය දී මෙම මාසයේ විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ ක්‍රීඩකයන් පස් දෙනෙකු පිළිබඳව Crictracker වෙබ් අඩවිය වාර්තා කළා. 

කොරෝනා වයිරසයත් සමඟින් අවලංගු වූ ක්‍රිකට් තරගාවලි නැවත ආරම්භ වෙමින් පවතිනවා. 2021 වසරේ පළමු මාසය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට කාර්‍යබහුල කාලයක් වුනා. ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය, එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පාකිස්තාන සංචාරය මෙන්ම අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගාවලිය ද ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය දිනා ගැනීමට සමත් වුනා. 

එම තරගාවලිවල එක් එක් ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම ලැයිස්තුගත කිරීම සිදුකර තිබෙනවා.

1. Joe Root 

ජනවාරි මාසයේ දී වැඩිම දක්ෂතා දැක්වූ ක්‍රීඩක ලැයිස්තුවේ අංක එකේ ස්ථානය හිමිව ඇත්තේ එංගලන්ත නායකයා වන Joe Root හටයි. ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දී මෙන්ම දෙවන තරගයේදීත් තරගයේ වීරයා වූ Joe Root තරගාවලියේ වීරයා සම්මානය ද තමන් සතුකරගත්තා. ඒ තරග දෙකේ ඉනිම් 4 දී ලකුණු 426ක් වාර්තා කරමින්. මෙම ටෙස්ට් තරගාවලිය තුල ඔහුගේ ලකුණු සාමාන්‍ය 106.50ක් වුනා. 

පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම වාර්තා කළ ලකුණු 421න් ලකුණු 228ක් ම Joe Rootගේ නම ඉදිරියේ සටහන් වුනා. පළමු තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුවේ නියමුවා වූයේ ද ඔහුයි.

දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා Joe Root ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 186ක්. එම තරගය එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළේ කඩුලු 6කින්.

මෙම ටෙස්ට් තරගාවලියේ දී Joe Root දැක්වූ දක්ෂතා ඔහු එංගලන්ත ඉතිහාසයේ සිව්වැනි වැඩිම ලකුණු ලාභියා බවට ද පත්කළා. 

තවත් ක්‍රිකට් පුවත්:

2. ලසිත් ඇඹුල්දෙණිය 

ශ්‍රී ලංකාව පිට පිට ටෙස්ට් තරග 4ක් පරාජය වීම යම් පසුබෑමක් පෙන්නුම් කලා. සෑම අඳුරු වළාකුළකම ඇති රිදී ඉර මනාව පසක් කරමින් ශ්‍රී ලංකා පරාජයේ වේදනාවට යම් සහනයක් ලබා දීමට සමත්වූයේ දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණියයි. Crictracker වෙබ් අඩවියේ මේ ලැයිස්තුවේ දෙවන ස්ථානය ඔහුට හිමිවීම ම එයට කදිම නිදසුනක්.

ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 5ක් දවා ගැනීමට ඇඹුල්දෙණිය සමත් වුනා. පළමු ඉනිමේ දී එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 10ක් වාර්තා කිරීමටත් පෙර ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඔහු සමත් වුනා. දෙවන ඉනිමේ දී ලකුණු 74ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 12කට දවා ගැනීමට ඇඹුල්දෙණිය සමත් වුනේ තරගයේ යම් වාසියක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙමින්. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ කඩුලු 3ක් පමණක් අහිමිකර ගනිමින්.

ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් තරගයේ දී ඇඹුල්දෙණිය සිය දඟපන්දුවේ ප්‍රබලත්වය මනාව පෙන්වීමට සමත් වුනේ එංගලන්ත පළමු ඉනිමේ කඩුලු 7ක් බිඳ හෙලීමත් සමඟින්. ඔහුගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේ ලකුණු 37ක වාසියක් හිමි වුනා. මෙම ඉනිමේදීත් එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඇඹුල්දෙණිය හමුවේ දැවී යාම විශේෂත්වයක්.

පිට පිට ඉනිම් තුනක දී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවා ගත් එකම ක්‍රීඩකයා බවටත් ඔහු පත්වුනා.

ලකුණු 37ක වාසියක් සමඟින් ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් ඉක්මනින් දැවී යද්දී කණ්ඩායමේ වගකීම කරට ගත් ඇඹුල්දෙණිය ලකුණු 40ක් වාර්තා කළා. 

එංගලන්ත දෙවන ඉනිමේ දැවී ගිය කඩුලු 4න් 3කටම හිමිකම් කීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුනේ සිය කඩුලු 10 සම්පූර්ණ කරගනිමින්.

ඔහුගේ මේ තුන් ඉරියව් දක්ෂතාවය ජනවාරි මාසයේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවට පත්කිරීමට සමත් වුනා.

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලියට අමතරව ඉන්දීය ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ ටෙස්ට් තරග දෙකක් ද මෙම මාසයේ දී පැවැත්වුනා. ඉන් එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර සෙසු තරගය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණයත් ඔවුන් සතු වුනා.

Crictracker වෙබ් අඩවියට අනුව මෙම ක්‍රීඩක ලැයිස්තුවේ සෙසු ස්ථානවලට හිමිකම් කියන්නේ ඉන්දීය ක්‍රීඩකයන්. එයට Shubman Gill, Chetashwar Pujara සහ Rishabh Pant ඇතුළත් වනවා.

මෙම ලැයිස්තුව සඳහා සෙසු කණ්ඩායම් නියෝජනය කරමින් කිසිදු ක්‍රීඩකයෙකු ඇතුළත් නොවීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් ජනවාරි මාසයට අදාල Player of Month සම්මානය සඳහා තවමත් ක්‍රීඩකයෙකු නිල වශයෙන් නම් කර නැහැ.

Crictracker වෙබ් අඩවිය ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<