හයිඩ්‍රාමනී සහ කොස්වාඩිය විජය අවසන් මහා සටනට

Dialog ජනාධිපති රන් කුසලානය 2021

189

2021 Dialog ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කාන්තා අවසන් පූර්ව වටයේ තරග අද (29) ගාල්ල වොලිබෝල් නිවහනේ දී පැවැත්වුනා.

එම තරගවලින් සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය වට 3-1ක් ලෙස පරාජය කළ ගලිගමුව හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය සහ රඳාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩිකාවන් වට 3-1ක් ලෙස පැරද වූ කොස්වාඩිය විජය ක්‍රීඩිකාවන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

සියඹලාගොඩ කපිල සහ ගලිගමුව හයිඩ්‍රාමනී

දේශීය වොලිබෝල් පිටියේ දක්ෂ තරුණ සහ ප්‍රවීණ ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම් දෙක අතර තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා.

තරගයේ පළමු වටයේ දී ම සිය ආධිපත්‍ය පෙන්නුම් කිරීමට සමත් වූ හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය එම වටයේ කැපී පෙනෙන දස්කම් පෙන්නුම් කරමින් ලකුණු 19-25ක් ලෙස පළමු ජය ගැනීමට හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

කපිල ක්‍රීඩා සමාජයේ තිලිණි වාසනා දෙවැනි වටය තුළ ප්‍රහාරාත්මක ආරම්භයක් සිය කණ්ඩායමට ගෙන දීමට සමත්වූවත් හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවන් පෙන්නුම් කළ දක්ෂ ක්‍රීඩා රටාව නිසාවෙන් ලකුණු 22-25ක් ලෙස එම වටයේ ජය හිමි වුනේ ද හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවන්ටයි.

තරගයේ රැඳී සිටීම සඳහා කපිල ක්‍රීඩා සමාජයට තීරණාත්මක වූ තුන්වැනි වටයේ දී හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් එම වටයෙන් ලකුණු 15-25ක් ලෙස පෙරළිකාර ජයක් ලබා ගැනීමට කපිල ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

සිව්වැනි වටයේ පළමු කොටසේ පෙරමුණ ලබා ගැනීමට කපිල ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවන්ට හැකි වූවත් ඩී. එස්. සේනාරත්නගේ ප්‍රහාර සහ අනෙකුත් හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවන්ගෝ දස්කම් නිසාවෙන් ලකුණු 20-25ක් ලෙස එම වටයේ ජය හිමි වුනේ හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවන්ටයි.

ඒ සමඟ තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගනිමින් තරගමාලාවේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගලිගමුව හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජයට හැකි වුනා.

කොස්වාඩිය විජය සහ රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස්

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ලෙස පැවති මෙම තරගය ද ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා.

විජය ක්‍රීඩිකාවන්ට පීඩනයක් ගෙන දෙමින් මුල් වටය ආරම්භයේ පෙරමුණ ගැනීමට රදාවාන ක්‍රීඩිකාවන්ට හැකිවූවත් එම වටයේ අවසන් භාගයේ දී කොස්වාඩිය ක්‍රීඩිකාවන් පෙන්නුම් කළ ප්‍රබල ක්‍රීඩා විලාශය නිසා පළමු වටය ලකුණු 22-25ක් ලෙස විජය ක්‍රීඩිකාවන්ට ජය දෙමින් අවසන් වුනා.

දෙවැනි වටයේ දී රදාවාන ක්‍රීඩිකාවන් අසරණ කරමින් සිය ආධිපත්‍ය පෙන්නුම් කළ කොස්වාඩිය ක්‍රීඩිකාවන් එම වටය ජය ගත්තේ ලකුණු 14-25ක් ලෙසයි.

රදාවාන ක්‍රීඩිකා සංසලා ඇතුළු ක්‍රීඩිකාවන් තෙවැනි වටයේ දී නැවත තරගයට පැමිණීමෙන් පෙන්නුම් කළ දක්ෂ ක්‍රීඩා රටාව නිසාවෙන් තියුණු සටනකින් පසු ලකුණු 22 -25ක් ලෙස එම වටය ජය ගනිමින් තවදුරටත් තරගයේ රැඳී සිටීමට ඔවුන්ට හැකි වුනා.

තුන්වැනි වටයේ සිදු වූ වැරදි නිවැරදි කරගනිමින් සිව්වැනි වටයට පිවිසි කොස්වාඩිය විජය ක්‍රීඩිකාවන් එම වටය 15-25ක් ලෙස පහසුවෙන් ජය ගනිමින් තරග වට 3-1ක් ලෙස තරගය ජය ගත්තා.

ඒ සමඟින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔවුන්ට හැකි වූ අතර අවසන් මහා තරගයේ දී ඔවුන්  ගලිගමුව හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවන් සමඟ තරග වැදීමට නියමිතයි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<