නදීශාට දෙවැනි තැන ලැබෙද්දී යුපුන් තෙවැනි තැනට!

Dubai Grand Prix 2024

61
Dubai Grand Prix 2024

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදි පැවැත්වෙන Grand Prix මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වූ නදීශා රාමනායක සහ යුපුන් අබේකෝන් අද (03) දිනයේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.

මෙම ශූ‍රතාවලියට එක් වන ශ්‍රී ලංකා නියෝජනයන් අතරින් පළමුව තරග බිමට පිවිසුණු නදීශා ‍රාමනායක විසින් කාන්තා මීටර් 400 ඉසව්වේ දී දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

මෙම ඉසව්වට සහභාගී වූ ස්වීඩන් ක්‍රීඩිකා Lisa Lilja විසින් තත්පර 53.41ක කාලයක් වාර්තා කරමින් ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතරේ තත්පර 54.01ක කාලයක් වාර්තා කරමිනුයි නදීශා මෙහි දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුනේ.

නමුත් ඇයට 2024 ඔලිම්පික් පරිසාධන මට්ටම වූ තත්පර 50.95ක කාලයක අබිබවා යාමට හැකියාවක් ලැබුණේ නැහැ.

මේ අතර දිනයේ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස පොදු රාජ්‍ය මණ්ඩල පදක්කම් ලාභී යුපුන් අබේකෝන් විසින් පිරිමි මීටර් 100 ඉසව්වට සහභාගී වූ අතර, එහි දී ඔහු හිමි වුනේ තෙවන ස්ථානයයි.

යුපුන් විසින් සිය ධාවනයට ලබා ගත් ආරම්භය තරමක් අසාර්ථක වීම ඔහුට තෙවැනි ස්ථානය හිමි වීමට හේතුව බව පෙනී ගියා.

තත්පර 10.18ක කාලයක් සමඟ යුපුන් මෙම තරගය නිමා කළ අතර, ඔහුගේ ඉසව්වේ ඔලිම්පික් පරිසාධන මට්ටම ලෙස සටහන් වී තිබුණේ තත්පර 10යි.

එමෙන්ම දිනයේ අවසන් ශ්‍රී ලාංකික නියෝජනයන් ද්විත්වය ලෙස තරුශි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න ද මින් පසුව කාන්තා මීටර් 800 ඉසව්වට සහභාගී වුනා. මෙහි දී  ඉසව්වේ පළමු මීටර් 500ක පමණ දුර තරගයේ පෙරමුණේ රැඳෙමින් ධාවනයේ යෙදුණු තරුශි හදිසියේ ම සිය ධාවනය නතර කළ අතර, එම නිසා ඇයට තරගය නිමා කිරීමට හැකි වුනේ නැහැ. එමෙන්ම ගයන්තිකාට ද සිය හොඳම පෞද්ගලික කාලයක් වෙත ළඟ වීමට හැකි නොවූ අතර, මේ අයුරින් 2024 Dubai Grand Prix තරගාවලිය නිමාව දුටුවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ට එළඹෙන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගැනීමට ඉදිරියේ දී තවත් තරග කිහිපයකට සහභාගී වීමේ අවස්ථාව ඉතිරිව පවතිනවා.

ඒ පිළිබඳ තොරතුරු ද ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<