ක්‍රීඩකයන්ගේ මානසික සෞඛ්‍යය ගැන අපි සැලකිලිමත් ද?

304

මගේ මානසික ගැටලු පිළිබඳව කතා කරන එක ගැන මම කිසිසේත්ම ලැජ්ජාවට පත් වෙන්නේ නෑ. ඇත්තටම ගත්තොත් මේක හැම කෙනෙකුටම බලපාන බොහෝම සාමාන්‍ය දෙයක්.

ඒ වුනත් අපි ක්‍රීඩකයන් විදිහට ඒ ගැන කතා කරන්න පසුබට වෙනවා, මොකද අපි කැමති නැහැ මානසිකව දුර්වලයි කියලා ලෝකයට පෙන්වන්න. ඒත් විශ්වාස කරන්න, ඔබ දුර්වලයි කියලා ලෝකය ඉදිරියේ පිළිගන්නවාට වඩා ඔබ ශක්තිමත් කියලා ලෝකයට බොරුවට හඟවන එක තරම් නරක දෙයක් තවත් නැති බව”

  • විරාත් කෝලි (Star Sports සාකච්ඡාවේ දී)

‘ක්‍රීඩාව’ කියලා කියන්නේ තරගකාරීත්වය, ජය ගැනීම සහ අනභිභවනීය දක්ෂතාවලට පමණක් අවකාශය සපයන ලොකු තෝතැන්නක් කියලා සමාජයේ පොදු මතයක් පවතිනවා.

මේ නිසාම ක්‍රීඩාවල නිරත වෙන ක්‍රීඩකයන් යනු ඕනෑම ආකාරයේ කායික-මානසික අභියෝගවලට ඔරොත්තු දෙන ‘සුපිරි පැලැන්තියේ මනුෂ්‍ය කොට්ඨාසයක්’ කියලා හිතන්නට බොහෝ ක්‍රීඩාලෝලීන් පසුබට වන්නේ නැහැ.

ඒත් ක්‍රීඩකයන්ගේ යථාර්ථය අපි හිතනවාට වඩා මීට හාත්පසින්ම වෙනස් බවයි සමීක්ෂණවලින් සොයා ගෙන තිබෙන්නේ.

සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්ෂව ක්‍රීඩකයන් නොයෙකුත් මානසික ගැටලුවලට ලක් වීමේ වැඩි ඉඩකඩක් පවතින බව මෑත කාලීනව සිදු කළ සමීක්ෂණයක දී සොයා ගෙන තිබෙනවා.

මේ සමීක්ෂණයෙන් හෙළිදරව් වී තිබෙන විදිහට මානසික ආබාධවලට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතින වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ප්‍රතිශතය 38%ක්.

මේ ගමනේ දී කෝලි තනි නැහැ

බැටින් කරන්න මම යනකොට මගේ ක්‍රියාශීලීත්වය අඩපණ වෙනවා වගේ මට දැනෙනවා. ඒ වෙලාවේ දී මම ඉන්නේ හරිම පීඩනයකින්. ඒක හරිම භයානක හැඟීමක්.”

තමන් මුහුණ දුන් මානසික අපහසුතා පිළිබඳව එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක Jonathan Trott පල කළ අදහසයි ඔබ ඒ දුටුවේ. Jonathan Trott පවසන විදිහට ඔහු situation-based anxiety තත්වයට ලක්වූ බව සඳහන් කරනවා.

මේ තත්වයට දිගින් දිගටම මුහුණ දීමට නොහැකි වූ නිසා අවසානයේ දී Trott 2018 දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ බව The Edge නමැති වාර්තාමය වැඩසටහනේ දී ඔහු සඳහන් කළා.

ඒ වගේම ක්‍රීඩකයන් මුහුණපාන මානසික ගැටලු ගැන කතා කරනකොට අපට මග හැරයා නොහැකි තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් එංගලන්තයේ Andrew Flintoffව හඳුන්වන්නට පුළුවන්.

Jonathan Trott – common.wikimedia.org

ජාත්‍යන්තර තරග 200කට අධික සංඛ්‍යාවක් නියෝජනය කර ඇති Flintoff දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 400ක්. මේ ආකාරයෙන් සුවිශේෂී දක්ෂතා විශද කළ ක්‍රීඩකයෙකු වුනත් Flintoffට මානසික ආතතියෙන් මිදෙන්නට නම් හැකියාවක් ලැබුණේ නැහැ.

Andrew Flintoff ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් මුහුණ දුන් මානසික පීඩනය ගැන කියා සිටියේ මෙවැනි අදහසක්.

මට දැනුණේ හරිම හිස් බවක්. ඒ දේ මොකක්ද කියන එක ගැන මට අවබෝධයක් තිබුණේ නෑ. අන්තිමේ දී සිද්ධ වුනේ ඒ හිස් බව මකාගන්න මම මත්පැන් පානයට ඇබ්බැහි වීම.” 

තමන්ට තමන්වම නැති වනවා යැයි හැඟීමක් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Glenn Maxwellට දැනුණේ 2019 ලෝක කුසලාන තරගාවලියේ දී ආබාධයකට ලක් වීමත් සමඟ බවයි ඔහු සඳහන් කළේ.

විවේකයකට සුදුසු මොහොත එළඹුණා කියලයි මට ඒ වෙලාවේ දී දැනුණේ.”

කෙසේ වෙතත් මාසයක පමණ විවේක කාලයකින් අනතුරුව Maxwell සුපුරුදු පරිදි නැවතත් Melbourne Stars ක්‍රිකට්  තරගය සඳහා සහභාගී වීමට සමත් වුනා.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසික අර්බුද කතාවේ මගහැර යා නොහැකි අනෙක් චරිතය වන්නේ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක  Marcus Trescothick ය. Coming Back to Me නමැති කෘතියේ දී Marcus සඳහන් කළේ තමන් Separation-anxiety තත්වයට මුහුණ දුන් බවයි. තරග කරන අතරවාරයේ දීත් තමන් තරගයට වඩා සිතන්නේ සිය පවුලේ සාමාජිකයන් ගැන බවයි Marcus පවසා සිටියේ.

Andrew Flintoff – Wikipedia.org

“මට පොඩි කාලේ  ඉඳලම ගෙදරින් පිට ඉඳලා පුරුද්දක් නෑ. අඩුම ගණනේ මම පාසල් චරිකා අතරතුර දී පවා හඬමිනුයි ඉන්නේ. කොහොම වුනත් මාව cricket coaching clinic එකකට යොමු කිරීමෙන් ඒ තත්වය තරමක් දුරට වළක්වා ගන්න පුළුවන් වුනා. ඒත් ඒ හැඟීම අවුරුදු 15ක් පුරා මගේ ක්‍රීඩා දිවියේ නොවෙනස්ව රඳා පැවතුණු බව නම් කියන්න ඕන”

අපේ මේ කතාවට පාත්‍ර වුණු සියලුම ක්‍රීඩකයන් ඉතාමත් සාර්ථක මට්ටමේ වෘත්තීය ජීවිතයක් ගත කළ ක්‍රිකට් ක්‍රීඩාවේ ‘චරිත’ විදිහට හඳුන්වන්නට පුළුවන්. නමුත් අවසානයේ දී ඔවුන්ටත් නොදැනීම ඩිප්රේෂන් ඇතුළු විවිධ මානසික රෝගවලට ගොදුරු වීමට ඔවුන්ට සිදු වුනා.

ඇත්තටම මෙහෙම වෙන්නේ ඇයි?ඒකට බලපාන හේතු රාශියක් තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩකයන් මානසික රෝග වලට ගොදුරු වන්නේ ඇයි?

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසික අර්බුදවලට බලපාන ප්‍රධානතම හේතුව වන්නේත් ක්‍රිකට් ක්‍රීඩාවමයි.

ක්‍රිකට් ක්‍රීඩා සංස්කෘතිය සහ ප්‍රේක්ෂකයන් විසින් ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වෙන ගුණාත්මක මට්ටමේ දක්ෂතා සහ ඉදිරිපත් කිරීම් සැපයීමට කටයුතු කිරීමට යාම තුළ  ක්‍රීඩකයන් මෙසේ මානසික ගැටලු වලට මුහුණ දෙන බවයි අපට සොයා ගැනීමට හැකි වුනේ.

ඉතින් ඒ අතරින් අපට දකින්ට ලැබෙන විශේෂ හේතුවක් වන්නේ ක්‍රීඩකයන්ට මුහුණ දීමට සිදු වන අධික පුහුණු සැසිවාර (overtraining). ක්‍රීඩා මනෝ විද්‍යාව තුළ මේ තත්වය හඳුන්වන්නේ Overtraining Syndrome (OTS) විදිහටයි.

සීතල හෝ අධික උෂ්ණ පරිසර තත්වයන් යටතේ පුහුණුවීම් වලට ලක්වෙන බොහෝ ක්‍රීඩකයන්ට ශාරීරික අපහසුතා ඇති වන බවත්, ඒ හේතුවෙන් ඔවුන්ට නිදා ගැනීමේ අපහසුතා හෙවත් insomnia ඇති වන බවත් සොයාගෙන තිබෙනවා.

ඇතැම් ක්‍රීඩකයන් පුහුණුවීම් අතරවාරයේ දී හෝ තරග කරන අතරවාරයේ දී හෝ ආබාධිත තත්වයන්වලට ලක් වන පුවත් ඔබ නිතරම අසා ඇතුවාට සැකයක් නැහැ. ඒත් එම ශාරීරික ආබාධ තත්වයන් කොපමණ මට්ටමක මානසික කම්පනයක් ක්‍රීඩකයෙකුට ඇති කරනවා දැයි ඔබ දන්නවා ද?

ඇත්ත වශයෙන්ම කිව්වොත් ක්‍රීඩකයන් මානසික රෝගවලට ගොදුරු කරන ප්‍රධානතම හේතු සාධකය විදිහට සොයා ගෙන තිබෙන්නේ ද මෙයයි. එසේ ආබාධිත තත්වයන්වලට ලක් වන ක්‍රීඩකයන් තමන්ගේ අනාගතය සහ කණ්ඩායම තුළ තමන්ගේ පැවැත්ම ගැන ඉතා දැඩි ලෙස කල්පනා කරන බවත්, එය බොහෝ විට ඔවුන්ව විෂාදය වැනි රෝගවලට ගොදුරු කිරීමට හේතු වන බවත් විද්වත් පරීක්ෂණවල දී සොයා ගෙන තිබෙනවා. එය අවසානයේ දී ඇතැම් ක්‍රීඩකයන්ව කලින් විශ්‍රාම යැවීමට ද හේතු වන බව කිව යුතුයි.

Glenn Maxwell – commons.wikimedia.org

එමෙන්ම ක්‍රීඩකයන් සඳහා පවතින ආහාර පාලන ක්‍රමවේද ද ඔවුන්ගේ මානසික ආබාධ වලට එක් හේතුවක්. එම ආහාර පාලන ක්‍රමවේද ඔවුන්ව අවසානයේ දී eating disorder තත්වයට පත් කිරීමට හේතු වන බව අනාවරණය වී තිබෙනවා.

පරීක්ෂණවල දී හෙලි වී තිබෙන අන්දමට ක්‍රීඩකයන් 59%ක් දෙනා තමන්ගේ ශරිරය පිළිබඳව සෑහීමකට පත් නොවන අතර ඒ නිසා ඔවුන් දැඩි ආහාර පාලන ක්‍රමවේද අනුගමනය කිරීම නිසා eating disorder වලට ලක් වන බවයි. මේ ආකාරයෙන් eating disorder තත්වයෙන් පෙළෙන ක්‍රීඩකයන්ගේ ප්‍රතිශතය 11%ක්.

මීට අමතරව ක්‍රීඩා පුහුණුකරු සහ සිය කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් සමඟ පවතින සබඳතා බිඳ වැටීම වගේම ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් මාධ්‍ය අනුගමනය කරන පිළිවෙත වැනි සාධක ද අඩු-වැඩි වශයෙන් ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම කෙරෙහි බලපාන බවට සමීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

ඉතින් ක්‍රිකට් සංස්කෘතිය තුළ පවතින මේ කියන සාධක විරාත් කෝලීට වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ නිතර වූ තවත් ක්‍රීඩකයන් ගණනාවකට ඉතා ඍණාත්මක මට්ටමේ බලපෑම් ඇති කර තිබෙන බව කිව යුතුයි.

අවසාන වශයෙන්…

මේ සංදර්භය ඔස්සේ ක්‍රීඩාලෝලීන් විදිහට ඔබත් ක්‍රිකට් ක්‍රීඩකයන් (හෝ වෙනත් ඕනෑම ක්‍රීඩාවක නිරත වන ක්‍රීඩකයෙකු) සම්බන්ධයෙන් ඉදිරියේ දී මීට වඩා සංවේදී සහ බොහෝම මානුෂික අන්දමින් කල්පනා කරාවී කියලා විශ්වාස කරනවා.

මූලාශ්‍ර –

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<