මාවතගම බබළවන “තරුෂි සහ රශ්මි”

416

පසුගිය දා පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවති 2023 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා බර ඉසිලීමේ තරගාවලියේ දී මාවතගම මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් සහභාගී වූ ඩබ්ලිව්. එම්. තරුෂි නබෝදි රණතුංග සහ ඩී. එම්. රශ්මි මල්ෂා කුමාරි දක්ෂතා දැක්වීමට සමත් වුනා.

එහි දී වයස අවුරුදු 17න් පහළ බාලිකා කිලෝග්‍රෑම් 76 බර පංතිය නියෝජනය කළ තරුෂි නබෝදි රණතුංග රන් පදක්කම ද, වයස අවුරුදු 17න් පහළ කිලෝග්‍රෑම් 64 බර පංතිය නියෝජනය කළ රශ්මි මල්ෂා කුමාරි රිදී පදක්කම ද දිනා ගනිමින් දක්ෂතා දැක්වූවා.

මෙම තරගාවලිය සඳහා මාවතගම මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10 දෙනෙක් සහභාගී වූ අතර ඉන් තරුෂි සහ රශ්මි දිනා ගත් රන් පදක්කම සහ රිදී පදක්කමට අමතරව 4 වැනි ස්ථාන 3ක් දිනා ගැනීමට ද ඔවුන් සමත් වුනා.

ඒ අනුව වයස අවුරුදු 17න් පහළ බාලක කිලෝග්‍රෑම් 73 බර පංතිය නියෝජනය කළ ආමන්ත රත්නායක, වයස අවුරුදු 17න් පහළ බාලක කිලෝග්‍රෑම් 89 බර පංතිය නියෝජනය කළ හිරුෂ නිර්වාන් බණ්ඩාර සහ වයස අවුරුදු 20න් පහළ බාලක කිලෝග්‍රෑම් 109 බර පංතිය නියෝජනය කළ චාමර දසනායක එම ඉසව්වලින් සිව්වැනි ස්ථාන දිනා ගැනීමට සමත් වෙනවා.

“මේ ලැබූ ජයග්‍රහණ සම්බන්ධයෙන් අපි සෑහීමකට පත් වෙනවා. විශේෂයෙන් ම තරුෂි සහ රශ්මි දැක්වූ දක්ෂතා ගැන අපි සතුටු වෙනවා වගේ ම ආඩම්බර වෙනවා. ඔවුන් මේ ජයග්‍රහණ ලබා ගන්නේ අවම පහසුකම් යටතේ පුහුණුවීම් කරමින්. ඔවුන් ලැබූ මේ ජයග්‍රහණ වඩාත් වටින්නේ ඒ නිසයි,” මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ බර ඉසිලීමේ පුහුණුකරු චින්තක අරුණ ශාන්ත මහතා ThePapare.com සමඟ පැවසුවා.

තරුෂි නබෝදි රණතුංග

වයස අවුරුදු 17න් පහළ බාලිකා කිලෝග්‍රෑම් 76 බර පංතිය නියෝජනය කළ ඩබ්ලිව්. එම්. තරුෂි නබෝදි රණතුංග රන් පදක්කම දිනා ගැනීමට සමත් වෙන්නේ Snatch ක්‍රමය යටතේ බර කිලෝග්‍රෑම් 50ක් ද, Clean & Jerk ක්‍රමය යටතේ බර කිලෝග්‍රෑම් 60ක් ද ලෙසින් සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 110ක් ඔසවමින් දක්ෂතා දක්වමින්.

“මගේ ඉසව්වේ පළමුවැනියා වීම ගැන ගොඩක් සතුටු වෙනවා. ගිය අවුරුද්දේ මේ ඉසව්වෙන් මට දෙවැනි ස්ථානය ලැබුණේ. එදා සිට ම මම උත්සාහ කළේ මේ ඉසව්වේ රන් පදක්කම දිනා ගන්න ඕන කියන හැඟීමෙන්. ඒ නිසා මේ වෙනුවෙන් ගොඩක් පුහුණුවීම් කළා. මහන්සි වුනා. ඒ නිසා ම සතුට තවත් වැඩි,” තරුෂි නබෝදි රණතුංග ThePapare.com සමඟ එකතු වෙමින් ඇයගේ ජයග්‍රහණය ගැන පැවසුවා.

තරුෂි සහ පුහුණුකරු චින්තක
තරුෂි තම පවුලේ ආදරණීයයන් සමඟින්

තරුෂි පසුගිය වසරේ දී මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට අමතරව 2022 ශ්‍රී ලංකා පාසල් බර ඉසිලීමේ තරගාවලියේ දී 16න් පහළ බාලිකා පළමුවැනියා ලෙසින් ද සහ වයඹ පළාත් පාසල් බර ඉසිලීමේ තරගාවලියේ අවස්ථා ගණනාවක දී ද ජයග්‍රාහිකාව වී තිබෙනවා.

“අපි ඉතා අපහසුවෙන් මේ ක්‍රීඩාව කරගෙන යන්නේ. පහසුකම් තිබෙන්නේ අවම තත්ත්වයේ. නිමා වූ තරගාවලියේ දී ද මම තරගයට සහභාගී වුනේ සර්ගේ මල්ලිගෙ සපත්තු දෙකක් දාගෙන. ඇඳුම් එහෙමත් හරි අමාරුවෙන් ගන්නේ.”

තරුෂි බර ඉසිලීමේ ක්‍රීඩාව තෝරා ගන්නේ තමන්ගේ ම පාසලේ ඉහළ පංතිවල ක්‍රීඩිකාවන් ලත් ජයග්‍රහණයක් උදෑසන රැස්වීමේ දී අගය කිරීමේ දී ලත් උත්තේජනයත් සමඟිනුයි. ඒ මීට වසර 3කට පමණ පෙරයි.

“තරුෂි ආරම්භයේ සිට ම ඉතා උනන්දුවෙන් ක්‍රීඩාවේ නිරත වෙන අයගෙන් කෙනෙක්. ඇයට ඉතා දිගු ගමනක් යන්න හැකියාව

තිබෙනවා. ඒ වෙනුවෙන් වන ඇයගේ උත්සාහය අපි අගය කරනවා,” පුහුණුකරු චින්තක අරුණ ශාන්ත පවසනවා.

තරුෂිගේ පියා අරුණ ශාන්ත රණසිංහ මහතා. කුලී රථ රියදුරෙක් ලෙස සේවය කළ ඔහු දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සලසා ගැනීම වෙනුවෙන් ම පසුගියදාක විදෙස් ගත වෙනවා. මව දේවිකා සමරසිංහ මහත්මියගේ රැකවරණය යටතේ තමයි තරුෂිත් ඇයගේ නැගණිය අනුපමා ඉඳුමිණි රණසිංහත් හැදී වැඩෙන්නේ.

“අම්මත් තාත්තත් අපි වෙනුවෙන් ගොඩක් වෙහෙස වෙනවා. මම මගේ කැමැත්තට මේ ක්‍රීඩාව තෝර ගත්තේ. මුල් කාලයේ දී නම් අපහසුකම් මතු වෙද්දී ක්‍රීඩාව නතර කරන්න කියල හිතුණා. ඒත් දැන් නම් එහෙම අදහසක් නැහැ. අමාරුවෙන් හරි ක්‍රීඩාව ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා,” තරුෂි පවසනවා.

ඩී. එම්. රශ්මි මල්ෂා කුමාරි

රශ්මි තම ආදරණීය දෙමාපියන් සමඟ

මෙම තරගාවලියේ දී වයස අවුරුදු 17න් පහළ කිලෝග්‍රෑම් 64 බර පංතිය නියෝජනය කළ රශ්මි මල්ෂා කුමාරි රිදී පදක්කම දිනා දෙමින් පාසලට ගෞරවයක් ලබා දෙනවා.

“ගොඩක් සතුටු වෙනවා මේ තරමින් දක්ෂතා දැක්වීමට ලැබීම ගැන. ඒත් ඉතිං පුංචි දුකකුත් තියෙනවා, පළමු ස්ථානය දිනා ගන්න බැරි වීම ගැන. කොහොම වුනත් මම මගේ අධිෂ්ඨානය අත හරින්නේ නැහැ. මේ තරගයේ දී ලබා දෙන්න බැරි වූ රන් පදක්කම ඊළඟ තරගයේ දී මම පාසලට ලබා දෙනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙලා පුහුණුවීම් කරනවා,” රශ්මි මල්ෂා කුමාරි ThePapare.com සමඟ පැවසුවා.

රශ්මි බර ඉසිලීමේ ක්‍රීඩාවට පිවිසීමට පෙර දී පාසලේ තවත් ක්‍රීඩා කිහිපයකට ම සම්බන්ධ වෙනවා. ඒ අතර යගුලිය දැමීම සහ කවපෙත්ත දැමීම වැනි ක්‍රීඩාවලින් පළාත් තරගවලට පවා සහභාගී වීමට ඇය අවස්ථාව උදා කර ගන්නවා. කුඩා ම අවදියේ දී කෙටි දුර ධාවන තරගවලට ද ඇය සහභාගී වී තිබෙනවා. නමුත් ඇය මේ වන විට නතර වී සිටින්නේ බර එසවීමේ ක්‍රීඩාවේ.

“දූ කුඩා දවස්වල සිට ම ක්‍රීඩා කරන්න ගොඩක් දක්ෂතා දක්වනවා. ඒ නිසා අපි කවදාවත් එයාට ඒවට යන්න එපා කියල නෑ. නමුත් බර එසවීමේ ක්‍රීඩාවට යොමු වුනාට පස්සේ අනෙක් ක්‍රීඩාවලට එතරම් සහභාගී වුනේ නැහැ. සමහර විට ඒකට හේතුව අපේ ආර්ථික තත්ත්වයන් වෙන්න ඇති,” රශ්මිගේ පියා හේමන්ත හර්ෂ බණ්ඩාර මහතා ThePapare.com සමඟ පැවසුවා.

ඔහු උපතින් ම ආබාධිත අයෙක්. ස්නායු ආබාධයක් හේතුවෙන් එසේ වී ඇති අතර ඔවුන්ගේ පවුලේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ රශ්මිගේ පියා, රෝද පුටුවෙන් ගොස් ලොතරැයිපත් විකිණීමෙන් ලද ආදායමයි. රශ්මි ගේ මව වන ශාමලි ඉනෝකා රණසිංහ මහත්මිය ද උපතින් ම ශ්‍රවණාබාධිත කාන්තාවක්. ඔවුන්ට රශ්මිට අමතරව බිනුර නිම්සර බණ්ඩාර නමින් යුත් රශ්මිට බාල සොයුරෙක් ද සිටිනවා.

“දෙදෙනෙක්ගේ අධ්‍යාපනය කටයුතුත් එක්ක දුවගේ ක්‍රීඩා කටයුතුත් කරගෙන යන්න විශාල වෙහෙසක් දරන්න වෙනවා. ආබාධිත බවත් එක්ක ටිකක් අපහසුතා එක්ක තමයි හැමදෙයක් ම කරන්නේ. දුව වුනත් ගොඩක් අඩු-පාඩු එක්ක තමයි ක්‍රීඩාව කරගෙන යන්නේ. නමුත් දුව කවදාවත් ඒ අඩු-පාඩු කියල අපිට වද කරල නැහැ. ගෙදර තත්ත්වය දන්න නිසා ම එයත් පුළුවන් විදිහට ඒ දේවල් කරගෙන යනවා. ගොඩක් දෙනෙක්ගෙ උදව් ඇතිවයි මේ තරමින් හෝ දුව ක්‍රීඩාව කරගෙන යන්නේ. ඒ හැම දෙනෙක්ට ම ස්තුතිවන්ත වෙනවා,” රශ්මිගේ පියා නැවත අප සමඟ පැවසුවා.

රශ්මි සහ පුහුණුකරු චින්තක

රශ්මි ලැබූ මේ ජයග්‍රහණයට අමතරව 2022 වසරේ දී සහ 2023 වසරේ දී ශ්‍රී ලංකා පාසල් බර ඉසිලීමේ තරගාවලියේ දී වයස අවුරුදු 16න් පහළ බාලිකා කිලෝග්‍රෑම් 71 බර පංතියේ රන් පදක්කම ද සහ 2022 වසරේ දී ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ දී වයස අවුරුදු 17න් පහළ කිලෝග්‍රෑම් 71 බර පංතියේ රන් පදක්කම ද දිනා ගැනීමට සමත් වෙනවා.

එමෙන් ම මේ වසරේ පැවති වයඹ පළාත් බර ඉසිලීමේ තරගාවලියේ දී කිලෝග්‍රෑම් 71 බර පංතියේ රන් පදක්කම ද ඇය සතු කර ගන්නවා.

“රශ්මි ඉතා ධෛර්යවන්ත ක්‍රීඩිකාවක්. ඇය මේ ක්‍රීඩාවේ රැඳී සිටින එක ගැනම අපි ඇයට ස්තුතිවන්ත වෙන්න ඕන. කොතරම් අඩු-පාඩු තිබුනත් ඇය මේ ක්‍රීඩාව කරගෙන යන්නේ පුදුම ආසාවකින් සහ උනන්දුවකින්. ඇය හොඳින් රැක ගන්න පුළුවන් නම් අපිට අනාගතයට කදිම බර එසවීමේ ක්‍රීඩිකාවක් දායාද කරන්න පුළුවන්,“ පුහුණුකරු චින්තක අරුණ ශාන්ත මහතා නැවත අප සමඟ පැවසුවා.

චින්තක අරුණ ශාන්ත, සාමාන්‍ය පෙළ දක්වා ඉගනුම ලබන්නේ කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයෙන්. එහි දී 2006 වසරේ දී රුක්ෂාන් ගුණතිලක මහතා යටතේ බර එසවීමේ ක්‍රීඩාව ප්‍රගුණ කරන චින්තක ඊට වසර 2කට පසුව 2008 වසරේ පැවති ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ බර එසවීමේ තරගාවලියේ දී වයස අවුරුදු 17න් පහළ කනිෂ්ඨ ශූරයා බවට පත් වෙන්නේ නව තරග වාර්තාවක් ද පිහිටුවමින්.

ඊට පසුව උසස් පෙළ ඉගෙන ගැනීමට සඳහා කුරුණෑගල මලියදේව විද්‍යාලයට පිවිසෙන චින්තක 2010 වසරේ දී සමස්ත ලංකා ජාතික පාසල් තරගාවලිය වෙනුවෙන් පළමු වරට එකතු වූ බර එසවීමේ ඉසව්වේ 20න් පහළ ශූරයා වීමට සමත් වෙනවා.

ඉන් අනතුරුව වසරේ දී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සංචිතය හා එක් වෙන චින්තක 2019 වසර දක්වා ම ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජනය කරමින් විවිධ බර පංති යටතේ ජයග්‍රහණ ලබා ගන්නවා.

2019 වසරේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා ගුරු පත්වීමක් ලබා ගන්නා චින්තකගේ පළමු ඉගැන්වීම් පාසල වන්නේ මාවතගම මධ්‍ය මහා විද්‍යාලයයි. ඔහු ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ දෙවැනි ශ්‍රේණියේ විනිසුරුවරයෙක් ලෙසින් ද කටයුතු කරනවා.

මාවතගම මධ්‍ය මහා විද්‍යාලයීය බර එසවීමේ කණ්ඩායම 2023

මාවතගම මධ්‍ය මහා විද්‍යාලයීය බර එසවීමේ ක්‍රීඩාවේ දියුණුව උදෙසා විද්‍යාලයීය විදුහල්පති ඩබ්ලිව්. බී. තිස්ස බණ්ඩාර මහතා, ක්‍රීඩා භාර ආචාර්ය සුමිත් ගුණවර්ධන මහතා, බර එසවීමේ ක්‍රීඩා භාර නිලධාරිණී මධුකා නවරත්න මහත්මිය ද සහ විද්‍යාලයීය ප්‍රජාව දක්වනු ලබන දායකත්වය චින්තක අරුණ ශාන්ත මහතාගේ නොමද පැසසුමට ලක් වුනා.

“මොන තත්ත්වයන් යටතේ වූවත් ඔවුන් දක්වන දායකත්වය කවදාවත් අමතක කරන්න බැහැ. ඔවුන් නිසා තමයි විද්‍යාලයේ බර එසවීමේ ක්‍රීඩාව මේ තරමින් හෝ පවත්වා ගෙන යන්න හැකි වෙලා තියෙන්නේ.”

බර එසවීමේ ක්‍රීඩාවෙන් අනර්ඝ ඉතිහාසයක් ඇති මාවතගම මධ්‍ය මහා විද්‍යාලය මේ වසරේ දී පැවති වයඹ පළාත් පාසල් බර එසවීමේ තරගාවලියේ දී ප්‍රථම ස්ථාන 6ක්, දෙවැනි ස්ථාන 3ක් සහ තෙවැනි ස්ථාන 3ක් දිනා ගැනීමට ද සමත් වෙනවා.

මාවතගම මධ්‍ය මහා විද්‍යාලයීය බර එසවීමේ කණ්ඩායම 2023

මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ බර එසවීමේ ක්‍රීඩාව ආරම්භ වෙන්නේ 2019 වසරේ දී ඉතා අඩු සම්පත් ප්‍රමාණයක් උපයෝගී කර ගනිමින්. එය චින්තකගේ ද පළමු පත්වීම ද වූ අතර ආරම්භයේ දී ම වූ අඩු-පාඩු ටික මේ දක්වා ම අඩුවක් නොමැතිව පවතින බවයි පුහුණුකරු චින්තකගේ මැසිවිල්ල.

“ක්‍රීඩාව පටන් ගත්ත අවුරුද්දේ සිට ම මේ දක්වා ද ඇති අඩු-පහසුකම් ටික ඒ විදිහට ම තියෙනවා. ක්‍රීඩාගාරයේ තියෙන පුංචි කාමරයක තමයි අපි පුහුණුවීම් කරන්නේ. ඒ තුළ දැනට විවිධ වයස් කාණ්ඩයේ දරුවන් 25 දෙනෙක් පමණ පුහුණුවීම්වල නිරත වෙනවා. තරගාවලියක් ළං වෙද්දී මාවතගම සිට කුරුණෑගල ගිහිල්ලා තමයි නිසි පහසුකම් යටතේ පුහුණුවීම්වලට සහභාගී වෙන්නේ.”

මේ වෙනුවෙන් කුරුණෑගල බර එසවීමේ සංගමය දක්වනු ලබන දායකත්වයට ස්තුතිවන්ත වෙන බැව් ද චින්තක පවසනවා.

“මේ කාලය තුළ පාසල ලැබූ ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙනවා වගේ ම සතුටු වෙනවා. ඒ වගේ ම මේ වෙද්දී ශ්‍රී ලංකාවේ ද බර එසවීමේ ක්‍රීඩාව වෙනුවෙන් පාසල් දරුවන්ගේ වැඩි එක් වීමක් දකිනවා. මම හිතනවා ඒක මේ ක්‍රීඩාවේ ප්‍රගමනයට වඩාත් වැදගත් කියලා. ඒත් එක්ක ම මේ වෙනුවෙන් පාසල් වෙත වඩ වඩාත් පහසුකම් ලබා දෙන්න හැකියාවක් ලැබෙනවා නම් වඩාත් සුදුසුයි කියල මට හිතෙනවා,” චින්තක අරුණ ශාන්ත මහතා ThePapare.com සමඟ පැවසුවා.

බර එසවීමේ ක්‍රීඩාවෙන් දිගු ගමනක් පෙරුම් පුරන මාවතගම මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ThePapare.com හී සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<