ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් T20 ලීග් තරගවලින් සවිමත් වූ හැටි

1277

2022 ආසියානු කුසලාන T20 තරගාවලියේ පළමු තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රේක්ෂකයන් අතර වූ කතාබහක් වූයේ මෙරට නිසි තරගකාරීත්වයෙන් යුත් T20 තරගාවලිවල ඇති අඩුව ඊට හේතු වූ බවයි.

අඩු වශයෙන් ලොව වටා පැවැත්වෙන වරලත් ක්‍රිකට් තරගාවලිවලට වත් සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලැබිය යුතු ය. ඉන් දක්ෂතාවල පැහැදිලි වෙනසක් සිදු වන බව නොරහසකි. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයන් T20 තරග රටාවේ දී දස්කම් දැක්වීම පිටුපස ඔවුන්ගේ T20 ලීග් තරග අත්දැකීම් අනිවාර්යයෙන්ම පවතින බව කිව හැකි ය.

ජාත්‍යන්තර තරග අත්දැකීම්වලින් සන්නද්ධ නොවූවත් ඔවුන් ලීග් තරග අත්දැකීම්වලින් සන්නද්ධ ය. ඒ අත්දැකීම්වලින් උගත් බොහෝ දෑ ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට්වල දී ද යොදා ගනී.

Courtesy – cricket.com.au රෂීඩ් ඛාන් බිග් බෑෂ් තරගාවලිය අතරතුර

විශේෂයෙන්ම රෂීඩ් ඛාන්, මොහොමඩ් නබි, රහ්මනුල්ලා ගුර්බාස්, හස්රතුල්ලා සසායි වැනි නම් ලොව වටා විවිධ මට්ටම්වල T20 ලීග් තරගාවලි වල ජනප්‍රිය නම් බවට පත්වී ඇත.

අපි ඒ අත්දැකීම් ජාත්‍යන්තර තරග වෙත අරන් එනවා,” Reuters (රොයිටර්) හමුවේ රෂීඩ් ඛාන් පැවසීය.

පසුගිය වසරේ තලෙයිබාන්වරුන් විසින් ඇෆ්ගනිස්තානයේ පාලන බලය අල්ලා ගැනීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩකයන් ගණනාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණියේ ඔවුන්ගේ ආගමන විගමන පහසුව සඳහායි. කාන්තා ක්‍රිකට් සම්බන්ධ දැඩි තලෙයිබාන් ප්‍රතිපත්ති නිසා වරෙක ඔවුන්ගේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පූර්ණ සාමාජිකත්වය ද අනතුරක පැවතිණි.

මීළඟ වසරේ අතරින් පතර ඔවුන්ට ලැබී ඇති සුළු ජාත්‍යන්තර ක්‍රිකට් තරග ගණන අතරතුර ඔවුන්ගේ හැකියාවන් සහ අත්දැකීම් ඉහළ නංවා ගැනීමේ එකම අවස්ථාව වන්නේ T20 ලීග් ක්‍රිකට් තරගාවලි පමණි.

අපි දිග ක්‍රිකට් රටා වල තරග ගොඩක් ක්‍රීඩා කරන්නෙ නෑ,” ඔහු එසේ පැවසීය.

ඒක FTP එක (Future Tours Program – අනාගත ක්‍රිකට් සංචාර වැඩසටහන) අතෙයි තියෙන්නේ. ක්‍රීඩකයන්ගේ අතේ නෙමෙයි. අපට ගොඩක් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන්න ඕන. එතකොට අපේ නවක ක්‍රීඩකයන්ට දස්කම් දියුණු කර ගැනීමට අදාළ පරිසරය ගැන තේරුම් ගන්න පුළුවන්,” ඔහු තවදුරටත් පැවසීය.

ලීග් තරගවලින් ලැබෙන අත්දැකීම් ඔවුන්ට පමණක් නොව අවශේෂ ක්‍රීඩකයන්ට ද වැදගත් බව ඔහු කියයි.

අපි ගොඩක් ජාත්‍යන්තර ලීග්වල ක්‍රීඩා කරන නිසා අපට ගොඩක් අවස්ථා ලැබෙනවා හොඳම ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගන්න. අපි ඒවා කණ්ඩායමේ අනිත් අය එක්ක බෙදා ගන්නවා,” තවදුරටත් අදහස් දක්වමින් රෂීඩ් ඛාන් පැවසීය.

2018 වසරේ ආසියානු කුසලාන තරගාවලියේ දීත්, 2022 තරගාවලියේ දීත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ඔවුන් විසින් පෙන්වමින් තිබෙන්නේ ඔවුන්ගේ අත්දැකීම්වල ඇති වැදගත්කමයි. යල් පැන ගිය අලස T20 තරග රටාවකට වඩා ආක්‍රමණශීලී, සටන්කාමී T20 තරග රටාවක් ගැන ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ට හොඳ අවබෝධයක් ඇත.

එමෙන්ම දේශපාලන අර්බුද රැසකට මුහුණ පා සිටින ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ට යහපත් ආර්ථික තත්වයක් ගොඩනගා ගැනීමට මෙන්ම ලෝක ජනප්‍රියත්වය උපයා ගැනීමට ප්‍රධාන මාර්ගයක් ලෙස T20 තරගවල දී දක්වන දස්කම් අතිශය වැදගත් වන නිසා ඔවුන් ඒ සඳහා දෑතම ඔසවා උනන්දුවෙන් ක්‍රීඩා කරයි. රෂීඩ් ඛාන් ඔවුන්ගේ හොඳම පෙරගමන්කරු ය.

ශ්‍රී ලංකා කණ්ඩායම මින් පෙර ජාත්‍යන්තර T20 තරග රටාවේ අංක එකේ කණ්ඩායම බවට ද පත්ව සිටියා. ඒ විශාල පහරවල්වලින් හෝ වේගවත් ක්‍රීඩා විලාශයකින් නොව, බුද්ධිය සහ වෙනස් දස්කම් යොදා ගනිමිනි.

පන්දුව ස්ථානගත කරමින් හතරේ පහරවල් රැස්කිරීම, ඉනිම පුරා එක දිගට එක් අන්තයක් රැකගෙන පන්දුවට පහර දීම හෝ අද්භූත පන්දු යවන්නන් යොදවා කඩුලු දවා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමුඛ සැලසුම වී තිබුණි.

Courtesy – The Indian Express
2022 ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වූ අවස්ථාව

එහෙත් තවදුරටත් ඒ යල් පැන ගිය සැලසුම් වල සැඟවී සිටිය නොහැකිය. T20 ක්‍රිකට් ඒ කාලයේ සිට බොහෝ සෙයින් වෙනස් වී ඇත. අවම තරමින් පවර් ප්ලේ අවස්ථාව තුළ දී වත් පන්දුවාරයකට ලකුණු 10ක වේගය ඉක්මවා ලකුණු රැස් කළ හැකි පිතිකරුවන් ශ්‍රී ලංකාවට අවශ්‍ය ය.

පන්දුව අද්භූතකරණය කරනවාට වඩා නිසි තැන පතිත කරවමින්, උපක්‍රමශීලීව පන්දු යවමින් කඩුලු දවා ගත හැකි හෝ ලකුණු පාලනය කළ හැකි පන්දු යවන්නන් ශ්‍රී ලංකාවට අවශ්‍ය ය. ඒ සඳහා ලෝක T20 ලීගයන් වල ක්‍රීඩා කොට ලබන අත්දැකීම් අවශ්‍ය ය.

IPL තරගාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඇතුළත් වූ බව සැබෑ ය. එහෙත් මේ වන විටත් තරගකාරී දේශීය T20 ලීගයක් පැවැත්වීමට අප අසමත්ව ඇත. එමෙන්ම IPL යන්නට තරම් දක්ෂ ක්‍රීඩකයන් හැරුණු කොට අනෙකුත් ක්‍රීඩකයන්ට ඇතුළත් විය හැකි වෙනත් ක්‍රිකට් ලීගයන් වෙත ඇතුල් වීමට ඔවුන්ට අවස්ථා ලබා දීම අවම ය. විස්සයි විස්ස යනු තනිව තරග දිනවන්නන් 6-7 දෙනෙකුවත් ඔබේ කණ්ඩායමේ සිටිය යුතු තරග රටාවකි.

වර්තමාන තත්වයට අනුව ජාත්‍යන්තර ක්‍රිකට්වලට වඩා වරලත් ක්‍රිකට් සහ ලීග් ක්‍රිකට් ජනප්‍රිය වීමේ අවදානමක් පවතියි. එබැවින් වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව තුළ රැඳෙන්නට නම් ක්‍රීඩකයන් ඒ සියල්ලට සූදානම් ව සිටිය යුතුය.

එය හරි හෝ වැරදි වේවා, පවතින තත්වය එය බැවින් ඊට සූදානම් වීම කළ යුතු ය.

ජාත්‍යන්තර කාර්යභාරයක් තියෙනවා නම් ඔබ එතන ඉන්න ඕන. ඒක තමයි ප්‍රමුඛතාවය. අපට බලාපොරොත්තුවක් තියෙනවා එන අවුරුදුවල දී මීට වඩා ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන්න,” රෂීඩ් ඛාන්ගේ අදහස එයයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<