කැරිබියන් ප්‍රිමියර් ලීගයට දින නියම වෙයි

261
CPL 2020

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2020 අදියරේ එළඹෙන අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ හිදී පැවැත්වීමට දින නියම කර තිබෙනවා. මේ පිළිබඳ පසුගිය සිකුරාදා නිල වශයෙන් දැනුම් දුන් අතර Covid-19 ව්‍යාප්තියට පසුව පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගාවලිය වන්නේ මේ තරගාවලියයි.

>> KKR අසාර්ථක වෙන්න හේතුව මම නෙමෙයි – ගංගුලි

මෙම තරගාවලිය පැවැත්වීමට එරට රජයෙන් හා ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ හි ප්‍රාදේශීය බලධාරීන්ගේ ද අවසරය හිමිව තිබෙනවා.

“සියලුම කණ්ඩායම් හා නිලධාරීන් එක් හෝටලයක සති දෙකක් දැඩි නිරෝධායනයකට ලක් කරනවා. විදේශ රටවලින් පැමිණෙන ක්‍රීඩකයින් ඒ ඒ රටවලින් පිටවීමේ දී හා නැවත ට්‍රිනිඩෑඩ් හිදී Covid-19 පරීක්ෂණයකට ලක් කරනවා.”

“තරගාවලිය ආරම්භයෙන් පසුව සියලුම ක්‍රීඩකයින් හා නිලධාරීන් කුඩා කුඩා කණ්ඩායම් ලෙස වෙනමම රඳවනවා. ඔවුන්ට ඔවුන්ගේ කුඩා කණ්ඩායම් තුළ සමාජ දුරස්ථභාවය මදක් ලිහිල් කරගෙන කටයුතු කරන්න පුළුවන්. කිසියම් කණ්ඩායමක කෙනෙක් Covid-19 රෝග ලක්ෂණ පෙන්වනවා නම් එම කණ්ඩායමටම සිදු වෙනවා දින 14ක් ස්වයං නිරෝධායනයට යොමු වෙන්න” CPL බලධාරීන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වුනා.

COVID-19 නීතිරීති යටතේ සියලුම තරග ක්‍රියාත්මක අතර තරග කිසිවක් ප්‍රේක්ෂකයින්ට විවෘත වන්නේ නැහැ. 

මාර්තු මාසයේ වැසුණු කොදෙව් දූපත්වල දේශ සීමා මේ තරගාවලියත් සමඟ විවෘත වීමටත් නියමිතයි. මේ වන විට කොදෙව් දූපත්වල රෝගීන් 133ක් වාර්තා වී ඇති අතර ඉන් 117ක් සුවය ලබා තිබෙනවා.

>> නායකත්වයෙන් තමා ඉවත් කිරීම සැලසුම්සහගත වැඩක් – ගංගුලි

රෂිඩ් ඛාන්, මාක්ස් ස්ටොයිනිස්, රොස් ටේලර් හා කාලෝස් බ්‍රාත්වේට් වැනි විස්සයි විස්ස තරු ද මෙවර තරගාවලියට ගිවිසුම් ගතව සිටිනවා. මේ අතර CPL තරගාවලියට සහභාගී වන පළමු ඉන්දීය ජාතිකයා වීමට Trinbago Knight Riders කණ්ඩායම නියෝජනය කරන ප්‍රවීන් ටාම්බේ සූදානමින් සිටිනවා.  

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<