ජයසූරියව පසු කර ගිය දිමුත් සහ මැතිව්ස්ගේ දස්කම්

Sri Lanka Tour of New Zealand 2023

212

ඊයේ (09) ආරම්භ වූ ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය නිමා වන විට වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණතම ක්‍රීඩකයින් දෙදෙනෙක් වන දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ සුවිශේෂී සංධිස්ථාන කිහිපයක්ම පසු කර යාමට සමත් වුනා.

ඊයේ ආරම්භ වුනු තරගයේ දී පළමු ඉනිම ක්‍රීඩා කිරීමට අවස්ථාව ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න විසින් ආරම්භක පිතිකරු ලෙස පිටියට අවතීර්ණ වී ලකුණු 50ක් ලබා දැවී ගිය අතර, පසුව පිටියට අවතීර්ණ වූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් විසින් ලකුණු 47ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියා.

නමුත් ඔවුන් දෙදෙනාම ඊයේ දිනයේ සිය ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොත්වල විශේෂ සංධිස්ථාන පසු කර යාමට සමත් වූ අතර, මෙහි දී ඔවුන් දෙදෙනා විසින්ම හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක සනත් ජයසූරියගේ වාර්තා අබිබවා යාමට සමත් වීමත් තරමක් විශේෂ කාරණයක්.

1.දිමුත් විසින් සනත්ව අබිබවා යෑම

ඊයේ තරගය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරගවල දී ආරම්භක පිතිකරුවෙකු ලෙස වැඩිම ලකුණු ලබා සිටියේ සනත් ජයසූරිය විසිනුයි.

ආරම්භ පිතිකරුවෙකු ලෙස ටෙස්ට් තරග 90ක දී ඉනිම් 152ක් ක්‍රීඩා කර ලකුණු 5932ක් රැස්කර ගැනීමට සමත් වී සිටි සනත්ව අබිබවා යෑමට ඊයේ දිමුත් විසින් සමත් වූ අතර, සනත්ට වඩා ලකුණු 2ක් පිටුපසින් සිටිමින් ඉනිම ආරම්භ කළ දිමුත් ලකුණු 50කට සිය ඉනිම නිමා කර පිටියෙන් ඉවත්ව යන විට ආරම්භක පිතිකරුවෙකු ලෙස තරග 82ක දී ඉනිම් 154ක් ක්‍රීඩා කර ලකුණු 5980ක් රැස්කර ගෙන සිටියා.

ඒ අනුව මෙතෙක් කල් සනත් සතුව තිබූ එම වාර්තාව බිඳ දැමීමට දිමුත් සමත් වූ අතර, ආරම්භක පිතිකරුවෙකු ලෙස ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 40.40 වැනි ඉහළ අගයක පවතිනවා.

එමෙන්ම සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල ටෙස්ට් තරග 83ක් ක්‍රීඩා කර ඇති දිමුත් විසින් ඉනිම් 159ක දී ලකුණු 6073ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා.

මෙම ලැයිස්තුවේ දැන් සනත්ට පිටුපසින් සිටින්නේ ශ්‍රී ලංකාව විසින් බිහි කළ තාක්ෂණයෙන් අනූනම ආරම්භක පිතිකරුවෙකු වන මාවන් අතපත්තු වන අතර ඔහු තරග 79ක දී ලකුණු 5317ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉහළම ලකුණු රැස්කර ඇති ක්‍රීඩක ලැයිස්තුව මෙසේයි.

තරග ගණන ලකුණු හොඳම ඉනිම සාමාන්‍ය ශතක
දිමුත් කරුණාරත්න* 82 5980 244 40.40 14
සනත් ජයසූරිය 90 5932 340 41.48 13
මාවන් අතපත්තු 79 5317 249 43.22 16
තිලකරත්න ඩිල්ශාන් 29 2170 193 42.54 8
රොශාන් මහානාම 41 2069 153 29.14 3

එමෙන්ම ජාත්‍යන්තර මට්ටමින් බැලූ කල ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉහළම ලකුණු රැස්කර ඇති ක්‍රීඩකයා වන්නේ එංගලන්තයේ Alastair Cook වන අතර ඔහු විසින් ඉනිම් 278ක් තුල ලකුණු 11845ක් ලබා ගැනීමට සමත් ව තිබෙනවා.

මෙම ලැයිස්තුවේ මීළඟට සිටින්නේ හිටපු ඉන්දීය පිතිකරු Sunil Gavaskar වන අතර ඔහුට පසුපසින් දකුණු අප්‍රිකාවේ Graeme Smith, ඕස්ට්‍රේලියාවේ Matthew Hayden, වැනි විශිෂ්ට ආරම්භ පිතිකරුවන්ගේ නම් සඳහන් වී තිබෙනවා.

එමෙන්ම තවමත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතරින් මෙම ලැයිස්තුවේ ඉහළින් ම වැජඹෙන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක David Warner වන අතර ඔහු ඉනිම් 184ක දී ලකුණු 8119ක් රැස්කර ගෙන සිටිනවා.

Warnerට මෙම ලැයිස්තුවේ හයවැනි ස්ථානය හිමි වී ඇති අතර, වර්තමානයේ ක්‍රීඩා කරන පිතිකරුවන් අතර දිමුත් දෙවැනි ස්ථානයට පත් වී ඇති අතර සමස්ත ලැයිස්තුවේ ඔහු 17 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා.

  1. මැතිව්ස් විසින් සනත්ව අබිබවා යෑම

ඊයේ තරගය ආරම්භ වීමට ප්‍රථම ටෙස්ට් ලකුණු 6953ක් රැස්කර ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ රැඳී සිටි ඇන්ජලෝ මැතිව්ස් සිය ඉනිම අතරතුර සනත් ජයසූරියව අබිබවා යමින් එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත් වීමට සමත් වුනා.

සනත් විසින් ටෙස්ට් තරග 110ක් ක්‍රීඩා කර ඉනිම් 188ක් තුල දී ලකුණු 6973ක් රැස් කරමින් මෙතෙක් කල් මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ රැඳී සිටියා.

ඊයේ දිනය නිමා වීමට පෙර ලකුණු 47ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස මැතිව්ස්ගේ ඉනිම නිමා වූ අතර, ඒ වන විට ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තවත් විශේෂ කඩඉමක් පසු කර යාමට සමත් වී තිබුණේ ටෙස්ට් ලකුණු 7000 සීමාවට ළඟා වීමත් සමඟයි.

නමුත් සිය 47 වැනි ලකුණ ලබා ගැනීමත් සමඟ ලකුණු 7000 කඩඉම සලකුණු කළ මැතිව්ස් මීළඟට මුහුණ දුන් පන්දුවෙන් දැවී ගිය අතර, එම ඉනිම අවසානයේ ඔහුගේ ටෙස්ට් දත්ත වාර්තා දිස් වුනේ ටෙස්ට් තරග 101ක දී ඉනිම් 179ක් තුල රැස්කර ඇති ලකුණු ප්‍රමාණය 7000ක් ලෙසයි.

මේ වන විට ඔහුගේ පිතිකරණ සාමාන්‍ය අගය 45.16ක් වැනි ඉහළ අගයක රැඳී ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 ඉක්මවා ඇති ක්‍රීඩකයින් අතරින් සිව්වැනියට හොඳම පිතිකරණ සාමාන්‍ය අගය හිමි වී ඇත්තේ ද ඇන්ජලෝ මැතිව්ස් හටයි.

එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා වන්නේ කුමාර් සංගක්කාර වන අතර ඔහු ටෙස්ට් ලකුණු 12400ක් සමගින් ශ්‍රී ලාංකික ලැයිස්තුවේ පළමු ස්ථානයද ජාත්‍යන්තර වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 6 වැනි ස්ථානයද හිමි කර ගෙන සිටිනවා.

එමෙන්ම ලකුණු 11867ක් සමඟින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර දෙවැනි ස්ථානය සහ ජාත්‍යන්තර පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය ද හිමි කරගෙන සිටින්නේ මහේල ජයවර්ධන විසිනුයි.

එමෙන්ම දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභී ලැයිස්තුවේ ද හයවැනි ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ටෙස්ට් ලකුණු ලාභීන් ගේ දත්ත මෙසේයි,

තරග ගණන ලකුණු හොඳම ඉනිම සාමාන්යය ශතක
කුමාර් සංගක්කාර

 

134 12400 319 57.40 38
මහේල ජයවර්ධන

 

149 11814 374 49.84 34
ඇන්ජලෝ මැතිව්ස්*

 

101 7000 200 45.16 13
සනත් ජයසූරිය 110 6973 340 40.07 14
අරවින්ද සිල්වා 93 6361 267 42.97 20
දිමුත් කරුණාරත්න* 83 6073 244 39.69 14

දිමුත්ගේ සහ මැතිව්ස්ගේ ටෙස්ට් අනාගතය කෙසේ වේවි ද?

ගෙවී ගිය වසර තුන තුල (2020 වසරේ ජනවාරි 01වැනිදා සිට ඊයේ දක්වා) වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා ලෙස වාර්තා වන්නේ එංගලන්ත පිතිකරු Joe Root වන අතර ඔහු විසින් 54.37ක සාමාන්‍ය අගයක් සහිතව ලකුණු 3589ක් රැස්කර ගැනීමට සමත් වී තිබෙනවා.

ඔහුගෙන් පසුව Marnus Labuschagne සහ Babar Azam පිළිවෙළින් ලකුණු 2146ක් සහ 1989ක් ලබා ගෙන මෙම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමි කර ගෙන සිටිනවා.

මෙම ලැයිස්තුවේ අටවැනි ස්ථානය දිමුත් කරුණාරත්න හට හිමි වී තිබෙන අතර, ඔහු විසින් පිතිකරණ සාමාන්‍ය 50.06ක රඳවා ගනිමින් ලකුණු 1652ක් රැස්කර ගැනීමට සමත් වී තිබෙනවා.

සාපේක්ෂව බැලූ කල මෙම ලැයිස්තුවේ ඔහු වටා නම් ඇති සියලුම ක්‍රීඩකයින් දිමුත්ට වඩා ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇති අතර (දිමුත් ටෙස්ට් තරග 19ක් ක්‍රීඩා කර ඇති අතර, ඔහුට වඩා අවම ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇත්තේ Usman Khawaja පමණයි) පිතිකරණ සාමාන්‍ය පැත්තෙන් බැලූ කල දිමුත් ඉතාමත් සාධනීය තත්වයක් පෙන්නුම් කරනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ලැයිස්තුවට එක් වී ඇති අනෙක් ප්‍රධානතම නියෝජනයන් දෙක වන්නේ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේශ් චන්දිමාල් වන අතර ඔවුන් ද ක්‍රීඩා කර ඇති තරග ප්‍රමාණය සාපේක්ෂව අවම අගයක් දරනවා.

නමුත් දිමුත් (34), මැතිව්ස් (35) සහ චන්දිමාල් (33) වන වයස් සීමාවන් වල පසු වන නිසා තවත් බොහෝ කාලයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුන්ට ඉතිරිව නොමැති බව තේරුම් ගත හැකි කාරණයක්. එමෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන ටෙස්ට් තරග ප්‍රමාණයේ ඇති ශීඝ්‍ර අඩු වීම නිසා (ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වැනි රටවලට සාපේක්ෂව) මෙම පිතිකරුවන්ගේ හොඳම සාරය ශ්‍රී ලාංකික ක්‍රිකට් වලට උකහා ගැනීමට ඇති අනගි අවස්ථාව අහිමි වන බවයි ලියුම්කරුගේ අදහස වන්නේ.

එමෙන්ම ඉහත සඳහන් කළ සියලුම සංඛ්‍යා දත්ත වාර්තාවල කොපමණ තරමේ වෙනස් වීමක් සිදු වනවා ද යන්න පවා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට අනාගතයේ හිමි වීමට නියමිත ටෙස්ට් තරග ප්‍රමාණය මත තීරණය වනු ඇත.

ඊයේ දිනයේ සිය ක්‍රීඩා දිවියේ විශේෂ සංධිස්ථාන පසු කර යෑමට සමත් වූ දිමුත් කරුණාරත්නට සහ ඇන්ජලෝ මැතිව්ස්ට ThePapare.com වෙතින් සුභාෂීංශණ පිරිනමන අතර, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සියලුම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමටත් ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<