ඩිල්ෂි ජාතික වාර්තාව බිඳ හෙළද්දී කාලිංග පරදා සෆාන් අංක 1ට

ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය - 2021

170

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන මෙම වසරේ පළමු මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනයේ තරග අද (09) කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩා පිටියේ දී නිමාවට පත්වුනා.

ජ්‍යෙෂ්ඨ තේරීම් තරග 

දිනයේ වඩාත්ම අවධානය දිනා ගත් ක්‍රීඩිකාව වූ යොවුන් ක්‍රීඩිකා ඩිල්ෂි කුමාරසිංහ මීටර් 800 කාන්තා ඉසව්ව මිනිත්තු 2:02.52ක කාලයකින් අවසන් කරමින් ජාතික වාර්තාව පිහිටුවීමට සමත් වුනා.

ඒ් සමඟින් 2017 වසරේ දී කාන්තා මීටර් 800 ඉසව්ව මිනිත්තු 2:02:55ක කාලයකින් අවසන් කරමින් ගයන්තිකා අබේරත්න පිහිටුවා තිබූ මීටර් 800 කාන්තා ජාතික වාර්තාව බිඳ හෙළීමට ඇයට හැකි වුනා.

තරගය මිනිත්තු 2:03.15ක කාලයකින් අවසන් කළ නිමාලි ලියනආරච්චි දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර මිනිත්තු 2:03.64ක කාලයකින් ඉසව්ව අවසන් කළ ගයන්තිකා අබේරත්න තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

මෙවර තේරීම් තරගාවලියේ දී සාර්ථක දස්කම් දැක්වීමට සමත් වූ ඩිල්ෂි කුමාරසිංහ පසුගිය බදාදා පැවති කාන්තා මීටර් 400 ඉසව්ව ද තත්පර 53.43ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

තවමත් විසිවැනි වියේ පසුවන ඩිල්ෂි මීටර් 400 සහ 800 ඉසව්වේ ඉහළ දස්කම් දැක්වීමට සමත්ව ඇති අතර නිමා වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ එම ඉසව් ජය ගනිමින් දකුණු ආසියානු ශූරිය වීමට ද ඇය සමත් වුනා.

ඉතාමත් පහසු තරගයකින් පසුව පිරිමි මීටර් 800 ඉසව්ව ජය ගැනීමට රුසිරු චතුරංග සමත් වුනා (මිනිත්තු 1:49.82). තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් සමන් කුමාර (මිනිත්තු 1:52.53) සහ සී. විජයසිංහ (මිනිත්තු 1:52.70) විසින් දිනා ගත්තා.

දිනයේ උණුසුම්ම ඉසව්ව වූ මීටර් 200 ඉසව්වේ පිරිමි තරගයෙන් ජාතික ශූර කාලිංග කුමාරගේ (තත් 20.85) පරදවමින් පෙරළිකාර ජයක් ලබා ගැනීම මොහොමඩ් සෆාන්ට (තත් 20.81) හැකි වුනා.

තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට තත්පර 21.00ක කාලයකින් අවසන් කළ අරුණ දර්ශන සමත් වූ අතර එම කාලය ඔහුගේ පෞද්ගලික හොඳම කාලය ලෙස ද සටහන් වුනා.

මීටර් 200 කාන්තා ඉසව්වෙහි සිය ආධිපත්‍ය රැකගත් ජාතික ශූරී නදීෂා රාමනායක තරගාවලියේ එම ඉසව්ව තත්පර 24.28ක කාලයකින් අවසන් කරමින් ජය ගැනීමට සමත් වුනා.

එම තරගය තත්පර 24.60ක කාලයකින් අවසන් කළ යොවුන් ක්‍රීඩිකා මේධානි ජයමාන්න දෙවැනි ස්ථානයත්, තත්පර 24.65ක කාලයකින් ඉසව්ව අවසන් කළ ලක්ෂිකා සුගන්ධි තෙවැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් වුනා.

අද දිනයේ පැවති පිරිමි මීටර් 5000 ඉසව්ව ජය ගැනීමට මිනිත්තු 14:50.90ක කාලයකින් ඉසව්ව අවසන් කළ එස් දිසානායක සමත් වුනා. ඩබ්. වොට්සන් (මිනිත්තු 14:51.59) දෙවැනි ස්ථානයත්, එම්. සමරකෝන් (මිනිත්තු 14:54.14) තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

කාන්තා මීටර් 5,000 ඉසව්වේ ජය මිනිත්තු 19:52.31කින් තරගය අවසන් කළ එන්. ප්‍රියදර්ශනීට හිමි වුනා.

පිරිමි රිටි පැනීමේ ඉසව්වේ ජය මීටර් 4.90ක දක්ෂතාවයක් පෙන්නුම් කළ එස්. පුවිත්‍රන් විසින් දිනා ගත් අතර මීටර් 4.50ක උසක් තරණය කෙරූ එස්. ජයන්ත සහ පී. සේනාරත්න දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගත්තා.

කාන්තා මිටිය විසි කිරීමේ ඉසව්ව මීටර් 40.51ක දක්ෂතාවයක් පෙන්නුම් කළ එම්. අමරසිංහ විසින් ජයග්‍රහණය කළා. මීටර් 38.02ක දක්ෂතාවයක් පෙන්නුම් කළ වෙරංගා තිසරනී දෙවැනි ස්ථානයත්, මීටර් 37.15ක දක්ෂතාවක් පෙන්නුම් කළ අයි. සඳමාලි තෙවැනි තැනත් දිනා ගත්තා.

කාන්තා තුන් පිම්ම ඉසව්ව ජය ගැනීමට තක්ෂිලා ලක්ෂානි (මීටර් 12.73) සමත් වූ අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් රන්දි කුරේ සහ එස්. උපේක්ෂාට (මීටර් 12.55) හිමි වුනා.

දිනයේ වේගවත්ම ඉසව්ව වූ කාන්තා මීටර් 100 කඩුලු පැනීම ඉසව්ව ජය ගැනීමට ලක්ෂිකා සුගන්ධි සමත් වුනා. තත්පර 14.69ක කාලයකින් ඉසව්ව අවසන් කළ සෙනුරි අනුත්තරා දෙවැනි ස්ථානයත්, තත්පර 14.70ක කාලයකින් අවසන් කළ පී. මොහොට්ටාල තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

පිරිමි මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්ව සුපුරුදු දස්කම් දක්වමින් ජය ගැනීමට ජනිඳු ලක්විජයට (තත් 14.27) හැකි වුනා. තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් එස්. රංදීව (තත් 14.82) සහ හසිත කුමාර (තත් 15.04) දිනා ගත්තා.

විසිකිරීම් ඉසව් යටතේ පැවති පිරිමි මිටිය විසිකිරීමේ ඉසව්ව ජය ගැනීමට මීටර් 48.29ක දක්ෂතාවයක් දැක්වූ සංජය බණ්ඩාරට හැකි වුනා. මීටර් 45.74ක දස්කමක් දැක්වූ එම්. ධර්මසේන දෙවැනි තැනත්, මීටර් 45.12ක දස්කමක් දැක්වූ ජී. ටියුඩර් තෙවැනි තැනත් දිනා ගත්තා.

කන්තා මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව ගැනීමට එස්. දුලානි (මිනිත්තු 1:01.67) සමත් වුනා.  අමීෂා හෙට්ටිආරච්චි දෙවැනි ස්ථානයත් (මිනිත්තු 1:03.11), ඩී. වික්‍රමසිංහ තෙවැනි ස්ථානයත් (මිනිත්තු 1:03.11) දිනා ගත්තා.

එම ඉසව්වේ පිරිමි අංශයේ ජය තත්පර 51.88ක කාලයකින් තරගය අවසන් කළ අයි. රත්නසේනට හිමි වුනා. දෙවැනි ස්ථානය ටී. රත්නසේන (තත් 52.13) දිනා ගත් අතර තෙවැනි ස්ථානය ඒ. කුමාර (තත් 53.26) හට හිමි වුනා.

තවත් ක්‍රීඩා පුවත්:

කනිෂ්ඨ තේරීම් තරග 

කනිෂ්ඨ අංශයේ කාන්තා තුන් පිම්ම ඉසව්ව මීටර් 12.73ක දුරක් වාර්තා කරමින් ජය ගැනීමට ආර්. සෙව්වන්දි සමත් වුනා. මීටර් 12.59ක දුරක් වාර්තා කළ නේහා හෙට්ටිආරච්චි දෙවැනි ස්ථානයත්, මීටර් 12.55ක දුරක් වාර්තා කළ වයි. සෙව්වන්දි තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

කාන්තා මීටර් 100 කනිෂ්ඨ කඩුලු පැනීමේ තරගය (තත් 15.58) පහසුවෙන් ජය ගැනීමට ලක්ෂානි දිසානායක සමත් වුනා. දෙවැනි සහ තෙවැනි ස්ථාන රශ්මි කාවින්ද්‍යා (තත් 15.77) සහ ප්‍රවීශා අර්සකුලරත්න (තත් 16.94) හට හිමිවුනා.

මීටර් 800 කාන්තා කනිෂ්ඨ තරගය මිනිත්තු 2:28.18ක කාලයකින් අවසන් කරමින් නුවන්තිකා චන්ද්‍රසිරිට හැකි වුනා.  සුදේවිනි සෙනීෂා (මිනිත්තු 2:37.29) සහ මලීෂා දේවින්දි (මිනිත්තු 2:55.13) දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගත්තා.

එම කාණ්ඩයෙ පිරිමි මීටර් 800 ඉසව්ව මිනිත්තු 1:54.37ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට සංජය ශ්‍රීනාත් සමත් වුනා. මිනිත්තු 1:54.95ක කාලයකින් ඉසව්ව අවසන් කළ ඩී. බුලත්සිංහල දෙවැනි ස්ථානයත්, මිනිත්තු 1:56.18ක කාලයකින් ඉසව්ව අවසන් කළ එස්. බණ්ඩාරට තෙවැනි තැනත් හිමි වුනා.

මීටර් 400 කාන්තා කඩුලු පැනීම ඉසව්ව ජය ගැනීමට නදුනි සූරියගමගේ (මිනිත්තු 1:05.46) සමත් වුනා. දෙවැනි සහ තෙවැනි ස්ථාන නිලුමින්දි යාපා (මිනිත්තු 1:06.33) සහ සමාධි දිසානායක (මිනිත්තු 1:10.40) හට හිමි වුනා.

කනිෂ්ඨ අංශයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව ජය ගැනීමට මීටර් 65.62ක දක්ෂතාවයක් දැක්වූ රුමේෂ් තරංග සමත් වුනා. මීටර් 58.39ක දක්ෂතාවයක් පෙන්නුම් කළ දිනේෂ් දේශාන් දෙවැනි ස්ථානයත්, මීටර් 57.94ක දක්ෂතාවයක් පෙන්නුම් කළ ආනන්තන් කජාන් තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට <<