ඩිජිටල් ක්‍රීඩා මාධ්‍යකරණයේ ප්‍රමුඛයා “ThePapare.com” Tokyo පෙළහරට සූදානමින්!

Olympic Games Tokyo 2020

111

ක්‍රීඩා ලොව ගලිවරයින්,  ලිලිපුට්ටන් ඇතුළු සිව්කොණ විසිරී සිටින කේෂ්ත්‍ර හා සම්බන්ධ සියලුම පාර්ශවයන් එකම වේදිකාවකට ඒකරාශි කරගනිමින් ක්‍රියාත්මක වන කෙළිබිමේ මහා මංගල්‍යය, 32 වැනි ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි.

COVID-19 ගෝලීය වසංගතයේ බලපෑම හමුවේ වූවද අනේක විධ බාධක කම්කටොළු රැසක් ජය ගනිමින් ඉදිරියට ඇදෙන Tokyo ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ මස 23 වැනිදායින් ආරම්භ වී පුරා දින 16ක් ඉතාමත් උත්කර්ෂවත් අයුරින් දියත් කිරීමට අවශ්‍ය කටයුතු සියල්ලක්ම පාහේ මේ වන විටත් සම්පාදනය කොට අවසන්ය. 

ක්‍රීඩාවේ සෑම අංශයක්ම ආවරණය වන පරිදි පරිපූර්ණ ක්‍රීඩා අත්දැකීමක් මෙරට ක්‍රීඩාලෝලීන් වෙත කවදත් අත්විඳීමේ අවස්ථාව සලසා දුන් ක්‍රීඩා ඩිජිටල් මාධ්‍යකරණයේ ප්‍රමුඛයා වන ThePapare.com මෙවරත් අපගේ එම වගකීම  නොපිරිහෙලා ඉටු කිරීමට සූදානමින් සිටින බව ඔබ වෙත දන්වා සිටින්නේ ඉමහත් සතුටකිනි. 

අපගේ ThePapare.com කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල මාධ්‍යවේදිනියක් වන ඩිනුෂ්කි රණසිංහ Tokyo ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලාංකීය නියෝජනයන් ඇතුළුව සම්පූර්ණ තරගාවලි ආවරණයක් ජපානයේ සිට එසැණින් ඔබ වෙත ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් පසුවන්නේ ක්‍රීඩාවට ආදරය කරන ඔබගේ එම උනන්දුව අප කවදාත් අගය කොට සලකන නිසාවෙනි.

මෙවර සිංහ ධජයේ අභිමානය ලොවටම කියාපාමින් ශ්‍රී ලංකා මාතාව නියෝජනය කිරීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් Tokyo ඔලිම්පික් උළෙල සඳහා ඉදිරිපත්ව සිටින අතර සමාරම්භක උළෙලේ දී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ ගෞරවාන්විත අවස්ථාව මෙවර හිමිවී තිබෙන්නේ ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි සහා ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් හටයි.

මීට අමතරව බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් වසර ගණනාවක සිට මෙරටට ඉමහත් කීර්තියක් අත්පත් කර දුන් නිලූක කරුණාරත්න මෙවර ඔලිම්පික් තරගාවලියේ දී ලෝක ශ්‍රේණිගත කිරීම්හී ඉහළින්ම පසුවන ක්‍රීඩකයින් හට ද ප්‍රබල අභියෝගයක් වනු ඇතැයි අප බලාපොරොත්තු දල්වා ගෙන සිටින්නේ ඔහුගේ ක්‍රීඩා කෞෂල්‍යය පිළිබඳ අමුතුවෙන් මෙරට ක්‍රීඩාලෝලීන් හට මතක් කරදිය යුතු නොමැති නිසාවෙනි.

ජවන සහ පිටිය ඉසව් දෙසට අවධානය යොමු කිරීමේ දී මෑත කාලයේ ජාතික වාර්තා පිට වාර්තා අලුත් කරමින් මීටර් 100 ධාවන ඉසව්වේ පෙරළියක් සිදු කළ යුපුන් අබේකෝන් මෙවර Tokyo ධාවන පථය ශ්‍රී ලංකා නාමයෙන් බැබළවීමට නොඉවසිල්ලෙන් පසුවන්නේ මීටර් 800 කාන්තා ඉසව්ව සඳහා සුදුසුකම් ලබා සිටින නිමාලි ලියනාරච්චි සමඟ එක්ව මලල ක්‍රීඩා ඉසව්වන්හී තම උපරිම ලබා දීමේ අරමුණ පෙරදැරිවයි.

දකුණු ආසියානු කලාපයම තම ආක්‍රමණයට නතුකර ගනිමින් පිහිනුම් ක්‍රීඩාවෙන් උපරිම ගෞරවය තම මව්බිම වෙත අත්කරදුන් පිහිනුම් ශූර මැතිව් අබේසිංහ මීටර් 100 නිදහස් ආර ඉසව්ව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වීමට ඇඟිලි ගනිමින් සිටින්නේ මීටර් 200 සමනල ආර ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියක පිහිනුම් ඉසව්වක් සඳහා තරග වඳින ළාබාලතම ශ්‍රී ලාංකික ක්‍රීඩාව වන අනීකා ගෆූර් හට ද ශක්තියක් වෙමිනි.

මීට අමතරව මීටර් 10 වායු රයිෆල් කාණ්ඩයෙන් ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්ව සඳහා තරග බිමට පිවිසෙන ටෙහානි එගොඩවල සහ අශ්වාරෝහක ක්‍රීඩා ඉසව්වෙන් මව්බිමට කීර්තියක් උරුම කරදීමේ අදිටනින් පිටියට අවතීර්ණ වන මැතිල්ඩා ක්ලාසන් හට ද මෙවර ක්‍රීඩා උළෙලේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට හැකි වනු ඇතැයි බොහෝදෙනා විශ්වාසයෙන් පසුවේ.

මේ සියල්ලන්ගේම යාවත්කාලීන සහ නැවුම් තොරතුරු ඇසිල්ලක ක්ෂණයෙන් ඔබගේ ඇඟිලි තුඩු වෙත ළං කිරීමට ThePapare.com අප දැනටමත් ඉතාමත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් සකසා අවසන් අතර ඔබ මෙන්ම ක්‍රීඩාවට පණ මෙන් ආදරය කරන අපගේ කාර්‍යශූර කාර්‍යමණ්ඩලය ද Tokyo ඔලිම්පික් උළෙලේ සෑම තතු විත්තුයක්ම ලද සැණින් ඔබ වෙත ගෙන ඒමට ඉතාමත් උනන්දුවෙන් පසුවන බව සඳහන් කර යුතුය.

ඔබ කිසිදා අත්විඳ නොමැති වෙනස්ම ආරයේ මාධ්‍ය ආවරණ අත්දැකීමක් මෙවර අප ඔබ වෙත අත්විඳීමේ අවස්ථාවක් සලසා දී තිබෙන්නේ අපගේ ක්ෂණික කෙටි පණිවිඩ සේවාව ඔස්සේ ද ඔබ දැනුවත් වීමට අවශ්‍ය කරුණු සම්බන්ධයෙන් නිරන්තර මතක් කිරීමක් සිදු කිරීමට කටයුතු කරන නිසාවෙනි. 

ThePapare.com අපි 32 වැනි ඔලිම්පික් තරගාවලියට අදාළ වන සියලුම ඡායාරූප, යාවත්කාලීන පුවත් වාර්තා, සම්මුඛ සාකච්ඡා මෙන්ම අංග සම්පූර්ණ සාරාංශගත වීඩියෝවන් ඔබගේ රසාස්වාදය උදෙසා ලද විගස ගෙන ඒමට සැදී පැහැදී සිටින්නෙමු. පෙරළිකාර වෙනසක ක්‍රීඩා අත්දැකීම අත්විඳින්න, රැඳී සිටින්න ThePapare.com සමඟින්! 

>> 2020 Tokyo ඔලිම්පික් හි සියලු විස්තර සඳහා පිවිසෙන්න <<