යොවුන් ශ්‍රී ලංකාවට පිලිපීනයෙන් අමතක නොවන ප්‍රහාරයක්

433
PHOTO CREDITS - ASIA RUGBY

ආසියානු රග්බි පළමු කාණ්ඩයේ තරගාවලියේ ආරම්භක දිනය වූ අද (29) ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසුණේ පිලිපීන කණ්ඩායම සමඟයි. CR&FC කණ්ඩායමේ ඔමල්ක ගුණරත්නගේ නායකත්වයෙන් මෙම තරගාවලියට එක් වී සිටින ශ්‍රී ලංකා සංචිතය පළමු වරට ශ්‍රී ලංකා ජාතික වගකීම ඉටු කිරීමේ වරම හිමි කර ගත් ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් ද සමන්විත යොවුන් බලකායක් විය.

නවකයින් රැසකට ජාතික රග්බි සංචිතයේ දොර ඇරේ

එළඹෙන 29 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව…

තරගය ආරම්භ වී පළමු මිනිත්තුව ගත වෙද්දී පවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නිසි අයුරින් තරගයට අවතීර්ණ වී නොමැති බවක් දක්නට ලැබුණු අතර එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් පිලිපීන ක්‍රීඩකයන් පළමු මිනිත්තුව අවසානයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් විය.

පිටියේ වම් අන්තයෙන් පන්දුව ශ්‍රී ලංකා ගෝල සීමාව ඉක්මවා රැගෙන යමින් එම උත්සාහක දිනුමට හිමිකම් කීවේ රොබට් ෆොගටි විසින්. එහි දී ඩැනියල් මැතිව්ස් විසින් එල්ල කළ ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (ශ්‍රී ලංකාව 00 – පිලිපීනය 05)

පළමු මිනිත්තු 10 ගත වන තෙක්ම යොවුන් ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ප්‍රශස්ත මට්ටමකට පැමිණ ඇති බවක් දක්නට නොලැබුණේ පිලිපීන කණ්ඩායමේ අතපසුවීම් කිහිපයක් තමන්ගේ වාසියට හරවා ගැනීමට අපොහොසත් වීම හේතුවෙනුයි.

කෙසේ වෙතත් 10 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකාවට ලැබුණු දඬුවම් පහරකින් උපරිම ප්‍රයෝජන ගත් සැමුවෙල් මධුවන්ත පන්දුව දර්ශනීය ලෙස ගෝල කණු අතරින් යොමු කරමින් ශ්‍රී ලංකාව ලකුණු සටහන් අතරට එක් කරන්නට සමත් විය. (ශ්‍රී ලංකාව 03 – පිලිපීනය 05)

තරගයේ 15 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකාවට උත්සාහක දිනුමක් වාර්තා කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් හිමි වූ නමුත් ක්‍රීඩකයෙකුගේ අතින් පන්දුව ඉදිරියට යොමු වීම හේතුවෙන් එම උත්සාහක දිනුම අවලංගු කරන්නට ප්‍රධාන විනිසුරුවරයා පියවර ගන්නා ලදි.

එමෙන්ම 19 වැනි මිනිත්තුවේ දී ගෝල සීමාවට මීටර් 55ක් පමණ එපිටින් ලද දඬුවම් පහරක් කෙළින්ම ගෝල කණු වෙත යොමු කරන්නට ශ්‍රී ලංකාව තීරණය කළ අතර සැමුවෙල් මධුවන්තගේ පහරේ දුර නිවැරදි වුවත් දිශාව මදක් වැරදී යාම හේතුවෙන් එම ලකුණු ද ශ්‍රී ලංකාවට අහිමි විය.

ඉන් අනතුරුව යළිත් 29 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් ද ගෝලය වෙත යොමු කිරීමට සැමුවෙල් මධුවන්ත උත්සාහ කළත් එම අවස්ථාව ද අසාර්ථක වූ අතර ඉන් මිනිත්තුවක් ගත වෙද්දී කහ කාඩ්පත් අවවාදයක් ලැබූ මධුවන්ත හට මිනිත්තු 10ක් සඳහා පිටියෙන් ඉවත් වීමට ද සිදු විය. එම සිදුවීම හරහා ශ්‍රී කණ්ඩායමට තවත් පාඩුවක් සිදු වුනේ ලැබුණු දඬුවම් පහර ලකුණු බවට පත් කර ගැනීමට ඩැනියල් මැතිව්ස් සමත් වීමත් සමඟයි. (ශ්‍රී ලංකාව 03 – පිලිපීනය 08)

කෙසේ වෙතත් 14 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම නැවත ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වුනේ 33 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් මගින් ගෝල සීමාව ආසන්නයට පන්දුව රැගෙන යන්නටත්, ඉන් අනතුරුව දර්ශනීය ක්‍රීඩා විලාශයකින් පසු පන්දුව ගෝල සීමාවට එපිටින් පතිත කරන්නටත් සමත් වීමත් සමඟයි.

තම ශරීර ශක්තිය මැනවින් උපයෝගී කර ගත් ප්‍රසාත් මධුශංක එම උත්සාහක දිනුමේ හිමිකාරිත්වය තමන් සතු කර ගනිද්දී එවැනිම දර්ශනීය ප්‍රවර්තනයක් මගින් තවත් ලකුණු 2ක් කණ්ඩායමට එකතු කරන්නට තිලිණ විජේසිංහ සමත් විය. (ශ්‍රී ලංකාව 10 – පිලිපීනය 08)

වරින් වර ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්ෂ තරග රටාවන් මෙන්ම දුර්වල ක්‍රීඩා රටාවන් ද දිස්වීම කැපී පෙනුනි. 34 වැනි මිනිත්තුවේ දී නොතිබූ ඩ්‍රොප් ගෝලයක් වෙනුවෙන් ගත් උත්සාහය පන්දුව පහසුවෙන් ප්‍රතිවාදීන්ට හිමි කර ගැනීමට අවස්ථාවක් වූ අතර පිලිපීන ක්‍රීඩකයන්ට ද ශ්‍රී ලංකා ගෝල සීමාව ආක්‍රමණය කිරීම එතරම් පහසු කාර්යයක් නොවුනේ තනි තනි ක්‍රීඩකයන් ලෙස ගත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂක පෙළ ඉතා ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වී සිටීමත් සමඟයි.

නමුත් පළමු අර්ධය අවසන් වීමට තත්පර කිහිපයක් ඉතිරිව තිබිය දී ආරක්ෂක පෙළ කණ්ඩායමක් වශයෙන් සංවිධානාත්මක නොවීම මත ලැබුණු ඉඩක් හරහා පහසුවෙන් පන්දුව ගෙන යමින් නැවතත් ලකුණු පුවරුවේ පෙරමුණ ගන්නට පිලිපීන ක්‍රීඩකයන් හට හැකියාව ලැබුණි.

ඉතා පහසු ප්‍රවර්තනයක් වූ එම අවස්ථාව සාර්ථක කර ගත් ඩැනියල් මැතිව්ස් පළමු අර්ධය අවසන් වන විට පිලිපීන කණ්ඩායමට ලකුණු 5ක වාසියක් හිමි කර දෙන්නට සමත් විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 10 – 15 පිලිපීනය

දෙවන අර්ධයේ ආරම්භය ද පළමු අර්ධය මෙන්ම වූ අතර එකම වෙනස වූයේ රොබට් ෆොගටි මෙවර උත්සාහක දිනුම වාර්තා කිරීමට මිනිත්තු දෙකක් වැය කිරීමයි. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ අවධානය නිසි පරිදි කේන්ද්‍රගත නොවීමේ වරදට ලැබුණු දඬුවම තවත් වැඩි කරමින් එහි ප්‍රවර්තනය ද සාර්ථකව එල්ල කරන්නට පිලිපීන ක්‍රීඩකයන් සමත් විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ක්‍රීඩාව ක්‍රියාත්මක වූ මිනිත්තු 4ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණේ සිට ලකුණු 12ක් පසුපසට පැමිණීමයි. (ශ්‍රී ලංකාව 10 – පිලිපීනය 22)

දෙවන අර්ධය තුළ ද ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු වාසි සහගත අවස්ථා කිහිපයකින්ම ප්‍රයෝජනයක් ගැනීමට ඔවුන් අසමත් වීම කනගාටුවට කරුණක් විය. ගෝල සීමාවට මීටර් කිහිපයක් මෙපිටින් ලැබුණු ස්ක්‍රම් අවස්ථාවක් තාක්ෂණික වරදක් හේතුවෙන් අහිමි කර ගැනීම වැනි ප්‍රාථමික අතපසුවීම් ද ඔවුන් වෙතින් දක්නට ලැබුණු අතර වරින්වර විශිෂ්ට මට්ටමේ දක්ෂතා ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙතින් ප්‍රදර්ශනය වුවත් එම දක්ෂතා ලකුණු බවට පත් කර ගැනීමේ දුර්වලතාව තරගය පුරා කැපී පෙනුණු කරුණකි.

52 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගත් පිලිපීන ක්‍රීඩකයන් ලකුණු 15ක වාසියක් සමඟින් තරගයේ වාසිය ප්‍රබල ලෙස තම කණ්ඩායම වෙත තහවුරු කර ගන්නට සමත් විය. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩාශීලී ගුණය බොහෝ සෙයින් පහළ මට්ටමකට ඇද වැටී ඇති බවක් දක්නට ලැබුණි. (ශ්‍රී ලංකාව 10 – පිලිපීනය 25)

එම දුර්වලතාවයෙන් උපරිම ඵල නෙලා ගත් පිලිපීන ක්‍රීඩකයන් මිනිත්තු 5ක් තුළ උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරන්නට සමත් විය. ඒ අතරින් දෙවන උත්සාහක දිනුම ඔවුන්ට දඬුවම් පහරක් ලැබුණු අවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිසිවෙක් අවධානය යොමු කර නොමැති බව දුටු පිලිපීන ක්‍රීඩකයන් නිදහසේ පන්දුව රැගෙන ගොස් වාර්තා කළ උත්සාහක දිනුමක් විය. එම අවස්ථා දෙකේ දී ම ප්‍රවර්තන ද සාර්ථක කර ගත් පිලිපීනය 65 වැනි මිනිත්තුව වන විට තරගයේ බලය සම්පූර්ණයෙන්ම තහවුරු කරගෙන සිටියේ ලකුණු 39-10ක් ලෙසිනි.

68 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකාව සැනසිලි උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැහැ. (ශ්‍රී ලංකාව 15 – පිලිපීනය 39)

මේ අතර අවසන් මිනිත්තු කිහිපය තුළ දැරූ දැඩි පරිශ්‍රමයකින් අනතුරුව විනිසුරුගේ අවසන් සංඥාව නිකුත් වීමට මොහොතකට පෙර 23 හැවිරිදි කණ්ඩායම් නායක ඔමල්ක ගුණරත්න ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවසන් උත්සාහක දිනුමක් වාර්තා කරද්දී තරගයේ අවසන් පා පහරින් සැමුවෙල් මධුවන්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ මේ යොවුන් කණ්ඩායමට අනාගතයේ දී වඩාත් ප්‍රබල ලෙස ලොවට අභියෝග කළ හැකි බවට ඉඟියක් පල කරමිනි.

අවසන් ලකුණු තත්ත්වය: ශ්‍රී ලංකාව 22 (3T, 2C, 1P) – 39 (5T, 4C, 2P) පිලිපීනය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<