ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය ක්‍රිකට් පුහුණුකරුවන් ගණන තවත් වැඩි වෙයි

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

166

එළඹෙන මාසයේ දී පැවැත්වීමට නියමිත ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස T Dilip සහ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස Paras Mhambrey පත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ICC සුපර් ලීගයේ එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් මෙම තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස Rahul Dravid කටයුතු කරනු ඇත. මෙම තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ Shikhar Dhawan වෙතයි.  

තවත් ක්‍රිකට් පුවත්: 

සංචාරයට එක්වන ක්‍රීඩකයින් 25 දෙනා (පුහුණු දැල් තුල යවන්නන් සහිතව) හෙට (14) සිට දින 14ක කාලයක් මුම්බායි හිදී නිරෝධායනයට ලක්වීමට නියමිතය. ඉන්පසුව ඔවුන් මෙම මස 28 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර අනතුරුව දින 3ක කාලයක්, එනම් ජූලි 01 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී නිරෝධායනයට ලක්වනු ඇත.  

ඒ අනුව ජූලි 02 වැනිදා සිට 04 වැනිදා දක්වා කාලයේ දී නිරෝධායනයට ලක්වන අතරතුරම සිය පුහුණුවීම් සඳහා ද එක්වීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට හිමි වන අතර ජූලි 05-12 අතර කාලයේ දී නිරෝධායනයකින් තොරව පුහුණුවීම් කටයුතු සිදු කළ හැකි වෙනවා.  

මෙම තරගාවලියේ එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවල දී පැවැත්වෙන අතර විස්සයි විස්ස තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවල දීයි. ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් යම් තරගාවලියක් සඳහා සංචිතයක් නම් කිරීමට පෙර එම ක්‍රීඩකයින් හට Yo-Yo test සහ 2km දුරක් දිවීම අනිවාර්ය කර තිබෙන නමුත් ඉන්දියාව තුළ පවතින වත්මන් Covid-19 ව්‍යාප්තිය නිසාවෙන් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ අගුලු දමා (Lockdown) තිබෙන නිසා මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීමට පෙර එවැනි ආකාරයක ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පවත්වා නොමැති බව ද වාර්තා වෙනවා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<