ඩිලන්ත මාලගමුවට රාජ්‍ය අනුග්‍රහය

389

ශ්‍රී ලංකාව බිහි කළ හොඳම මෝටර් රථ ධාවකයා ලෙස අවිවාදයෙන් තොරවම ඩිලන්ත මාලගමුව හැඳින්විය හැකියි. Lamborghini Super Trofeo Europe – Am 2021 තරගාවලිය සඳහා ඔහුට මෙවර අනුග්‍රහය දක්වන්නට ශ්‍රී ලංකා රජය ඉදිරිපත්ව සිටිනවා.

1982 වසරේ දී සිය මෝටර් රථ ධාවන දිවිය අරඹන්නට ඩිලන්ත හට සවියක් වුනේ ඔහුගේ සහෝදරියන් ප්‍රමුඛ ඔහුගේ සහෝදරියනුයි. කෙසේ වෙතත් මුලදී යතුරුපැදි ධාවන ශූරයෙක් ලෙස සිය ක්‍රීඩා දිවිය ඇරඹූ ඩිලන්ත, පසුව මෝටර් රථ ධාවන පිටියට අවතීර්ණ වුනා. ජපානයට ගිය ඩිලන්ත එහි වාර්තා ගණනාවක් තබන්නට සමත් වුණු අතර ජපානයේ පළමු පෙළ Formula Nippon තරගාවලියට සම්බන්ධ වුණු පළමු ජපන් ජාතික නොවන ආසියාතිකයා ඔහුයි.

එතැන් පටන් ඔහු ධාවන තරග රැසකටම සහභාගී වූ අතර තරගාවලි රැසකම ජයග්‍රහණ ද දිනා ගන්නට සමත් වුනා. ජපන් N1 ශූරතාවලිය, මැලේසියානු සුපර් කාර් තරගාවලිය, ආසියානු Le Mans තරගාවලිය හා Lamborghini Super Trofeo ආසියානු තරගාවලිය ඒ අතරින් කිහිපයක්.

තවත් පුවත්:

කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස ඩිලන්ත මේ තරගාවලි සියල්ලටම සහභාගී වූයේ තමන්ගේ පෞද්ගලික ධනය හෝ පෞද්ගලික ආයතනවල අනුග්‍රහයෙනුයි. ඔහු ලොව වටා තරගාවලි රැසක දී ම ශ්‍රී ලංකාව ඔසවන්නට සමත් වුනත් ඔහුට රාජ්‍ය අනුග්‍රහය නම් ලැබුණේ නැහැ. නමුත් නව රජය පිහිටුවීමත් සමඟ ඔහුට ජාතික ක්‍රීඩා කවුන්සිලයේ අසුනක් වෙන්වූ අතර ඒ සමඟම වසර 36ක ඉතිහාසයේ පළමු වතාවට රජයක් විසින් ඩිලන්තගේ ධාවන තරගයකට අනුග්‍රහය දක්වන්නට ඉදිරිපත් වී සිටිනවා.

මේ පිළිබඳ ඩිලන්ත ඔහුගේ Facebook පිටුවේ මෙසේ සටහනක් තබා තිබුණා. “මට පළමු වරට අවුරුදු 36කට පසු රාජ්‍ය අනුග්‍රහය ලැබුණා”. එලෙසම ඔහු ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා නව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමන් හට ඔවුන්ගේ සහය වෙනුවෙන් ස්තූතිය පළ කර තිබුණා.

තවද සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මැතිතුමා හට ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිනිය කිර්මාලි ප්‍රනාන්දු හටද ඔහු ස්තුති කරන්නට අමතක කර තිබුණේ නැහැ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<