කුසල්, ඕෂද සහ කමිඳු අර්ධ ශතක වාර්තා කරයි

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

1306
Dialog-SLC National Super League 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (31) ආරම්භ වුනා.

එහි දී කොළඹ වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ද, මහනුවර වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් ද අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

කොළඹ සහ යාපනය

හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තා. ඒ අනුව ඔවුන් පළමු දිනය අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 224ක් රැස් කරගැනීමට සමත් වෙමින්.

තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්,

කොළඹ : දිමුත් කරුණාරත්න (නායක), ක්‍රිශාන් සංජුල, කුසල් මෙන්ඩිස්, ප්‍රමෝද් මධුවන්ත, මාධව වර්ණපුර, සිතාර ගිම්හාන්, ලක්ෂිත මනසිංහ, නිසල තාරක, නලින් ප්‍රියදර්ශන, කසුන් රාජිත, කවික ඩිල්ශාන්.

යාපනය : ධනංජය ද සිල්වා (නායක), නිශාන් මධුශ්ක, නවෝද් පරණවිතාන, සමින්ද ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, අවිශ්ක තරිඳු, දිලුම් සුධීර, ජෙෆ්රි වැන්ඩර්සේ, නුවන් ප්‍රදීප්, කසුන් මධුශංක.

ඔවුන්ගේ ඉනිම ආරම්භ කළේ ක්‍රිශාන් සංජුල සහ නායක දිමුත් කරුණාරත්න. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 75ක් රැස් කළා.

එහි දී පළමුවෙන් දැවී ගියේ නායක දිමුත්. ඔහු පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 39ක් රැස් කරගත්තා. ඊට ලකුණු 4කට පසු සංජුල ද දැවී ගියා. ඔහු දැවී යන විට පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 39ක් රැස් කරගෙන සිටියා.

ඔවුන්ගේ දැවී යාමෙන් පසුව වැඩි වගකීමක් ගත් කුසල් මෙන්ඩිස් දිනය අවසන් වන විට පන්දු 185කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 83ක් රැස් කරගෙන සිටියා. ඔහු සහ මාධව වර්ණපුර අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 111ක් වාර්තා වුනා.

මාධව පන්දු 150කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් වාර්තා කරගත්තා. ප්‍රමෝද් මධුවන්ත (2), සිතාර ගිම්හාන් (7), ලක්ෂිත මනසිංහ (0) අඩු ලකුණුවලට සීමා වෙද්දී, දිනය අවසන් වන විට නිසල තාරක නොදැවී ලකුණු 11ක් රැස් කරගෙන සිටියා.

පන්දු යැවීමේ දී ප්‍රතිවාදී නායක ධනංජය ද සිල්වා ලකුණු 42කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතරව නුවන් ප්‍රදීප් සහ ජෙෆ්රි වැන්ඩර්සේ අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

කොළඹ – පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට) කඩුලු 6ක් දැවී 224 (90): ක්‍රිශාන් සංජුල 39, දිමුත් කරුණාරත්න 39, කුසල් මෙන්ඩිස් නොදැවී 83, මාධව වර්ණපුර 42, ධනංජය ද සිල්වා 4/43.

මහනුවර සහ ගාල්ල

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගාලු නායකයාගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබා දීමයි. ඒ අනුව පිටියට පිවිසි මහනුවර කණ්ඩායම පළමු දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 192ක් වාර්තා කරගෙන සිටියා.

අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය පළමු දිනයට නතර කරන විට යවා තිබුණේ පන්දුවාර 59ක් පමණයි.

තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්,

මහනුවර කණ්ඩායම : කමිඳු මෙන්ඩිස් (නායක), කමිල් මිෂාර, කසුන් විදුර, ඕෂද ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, ලහිරු උදාර, තික්ෂිල ද සිල්වා, අසිත ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, අශේන් ඩැනියෙල්, ලසිත් ඇඹුල්දෙණිය.

ගාල්ල කණ්ඩායම : දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය ලක්ෂාන්, පබසර වඩුගේ, සංගීත් කුරේ, හෂාන් දුමිඳු, ඩිල්ශාන් මධුශංක, ඇන්ජලෝ මැතිව්ස්, කවිශ්ක අංජුල, සුමින්ද ලක්ෂාන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම.

මහනුවර ඉනිමේ ආරම්භය එතරම්ම සාර්ථක වූයේ නැහැ. කමිල් මිෂාර 15 වැනි පන්දුවාරයේ දී තම කඩුල්ල අහිමි කර ගන්නා විට ලකුණු පුවරුව 38ක් වූ අතර ඔහු රැස් කරගෙන සිටියේ ලකුණු 18ක් පමණයි. ඊට පන්දු 44ක් වැය කර තිබුණා.

නමුත් ඉන් අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සබඳතාවක් ගොඩ නැගීමට කසුන් විදුර සහ ඕෂද ප්‍රනාන්දු සමත් වුනා. කසුන් පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 45ක් රැස් කරගත්තා.

දිනය අවසන් වන විට ඕෂද සහ නායක කමිඳු නොදැවී පිටියේ රැඳී සිටි අතර ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට සබඳතාව නොදැවුනු ලකුණු 81ක්. ඕෂද පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 71ක් ද, කමිඳු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 51ක් ද වාර්තා කරගෙන සිටිනවා.

මහනුවර ඉනිමේ දැවී ගිය කඩුලු දෙකේම හිමිකාරීත්වය ධනංජය ලක්ෂාන් සතු වුනා.

මහනුවර – පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට) කඩුලු 2ක් දැවී 192 (59): ඕෂඳ ප්‍රනාන්දු නොදැවී 71, කමිඳු මෙන්ඩිස් නොදැවී 51, කසුන් විදුර 45, ධනංජය ලක්ෂාන් 2/29.

මෙම තරග දෙවැනි දිනයටත් හෙට (01) ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<