කුසල්, කමිඳු සහ ඕෂදගේ ශතකවලට ධනංජයගෙන් කඩුලු 5ක්

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

3094
Dialog-SLC National Super League 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (1) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වුනා.

අද දිනයේ දී කුසල් මෙන්ඩිස් (කොළඹ), ඕෂද ප්‍රනාන්දු (මහනුවර), කමිඳු මෙන්ඩිස් (මහනුවර) ශතක ලබා ගන්නා විට, සමින්ද ප්‍රනාන්දු (යාපනය), ලහිරු උදාර (මහනුවර) අර්ධ ශතක ලබාගෙන පිතිකරණයෙන් කැපී පෙනෙන දස්කම් අතරට පැමිණියා.

යාපනය නායක ධනංජය ද සිල්වා සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ සාර්ථක කර ගත් 5 වැනි කඩුලු 5 අවස්ථාව සාර්ථක කරගෙන කොළඹ කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමෙන් දස්කම් දැක්වූවා.

කොළඹ සහ යාපනය අතර තරගය

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනය ආරම්භ කරන විට කොළඹ කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 224ක් ලබාගෙන සිටියා.

දිනය ආරම්භ කරන විට නොදැවී ලකුණු 83*ක් ලබාගෙන සිටි කුසල් මෙන්ඩිස් අද උදෑසනම සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ ලබා ගත් 13 වැනි ශතක සම්පූර්ණ කර ගනිමින් පන්දු 241ක් තුල නොදැවී ලකුණු 114*ක් ලබා ගත්තා.

අවසානයේ දී කොළඹ ක්‍රීඩකයින්  සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 272ක් පමණක් වන අතර දිනයේ පළමු පන්දු 125ක් තුල කොළඹ පළමු ඉනිමේ නිමාව සටහන් වුනා.

කොළඹ කණ්ඩායමට එරෙහිව පිළිතුරු පළමු ඉනිම දියත් කළ යාපනය කණ්ඩායම දෙවැනි දිනය නිමා වන විට කඩුලු 8ක් දැවී ලකුණු 204ක් ලබාගෙන සිටිනවා. යාපනය කණ්ඩායම කොළඹ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 68ක් පසුපසින් සිටින නමුත් ඔවුන් අතැතිව තිබෙන්නේ තවත් කඩුලු 2ක් පමණයි.

නොදැවී ක්‍රීඩා කරමින් යාපනය ඉනිම සවිමත් කළ සමින්ද ප්‍රනාන්දු 4 පහර 3ක් එල්ල කරමින් ලකුණු 76*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා. පන්දු යැවීමේ දී කවික ඩිල්ශාන් මේ වන විට ලකුණු 25කට කඩුලු 4ක් දවාගෙන දස්කම් දක්වා තිබෙනවා.

කොළඹ පළමු ඉනිම – 272 (110.5): කුසල් මෙන්ඩිස් 114*, මාධව වර්ණපුර 42, දිමුත් කරුණාරත්න 39, ක්‍රිශාන් සංජුල 39, ධනංජය ද සිල්වා 5/48.

යාපනය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 204/8 (70): සමින්ද ප්‍රනාන්දු 76*, නවෝද් පරණවිතාන 42, සදීර සමරවික්‍රම 32, කවික ඩිල්ශාන් 4/25.

මහනුවර සහ ගාල්ල අතර තරගය

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ ඊයේ (31) දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහනුවර කඩුලු 2ක් දැවී ලකුණු 192ක් ලබාගෙන සිටියා.

පළමු දිනයේ දී අර්ධ ශතක ලබාගෙන සිටි ඕෂද ප්‍රනාන්දු (127) සහ කමිඳු මෙන්ඩිස් (108) ශතක සම්පූර්ණ කරගෙන මහනුවර පළමු ඉනිමේ ලකුණු සටහන ඔසවා තැබීමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළා. ඕෂද සහ නායක කමිඳු එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ද්විත්ව ශතක සබඳතාවය නිමා කරමින් කමිඳු දැවී ගියා.

මහනුවර මැදපෙළ සවිමත් කළ ලහිරු උදාර දිනයේ නිමාව සටහන් වන විට නොදැවී ලකුණු 76*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා. පන්දු 102ක දී වාර්තා වී තිබෙන එම ඉනිමට 4 පහර 9ක් ඇතුළත්.

දිනයේ නිමාව සටහන් වන විට මහනුවර කඩුලු 8ක් දැවී ලකුණු 447ක් ලබාගෙන ප්‍රබල මට්ටමක පසුවන අතර ඩිල්ෂාන් මදුශංක, අකිල දනංජය සහ ධනංජය ලක්ෂාන් අතරේ දැනට කඩුලු 2ක බැගින් බෙදී ගොස් තිබෙනවා.

මහනුවර පළමු ඉනිම (දෙවැනි දිනය අවසානයේ) – 447/8 (120.3): ඕෂද ප්‍රනාන්දු 127, කමිඳු මෙන්ඩිස් 108, ලහිරු උදාර 76*, කසුන් විදුර 45, නිරෝෂන් දික්වැල්ල 38, ධනංජය ලක්ෂාන් 2/57, ඩිල්ශාන් මදුශංක 2/77, අකිල දනංජය 2/85.

මෙම තරග තෙවැනි දිනයටත් හෙට (02) ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රීඩා ලොව තවත් උණුසුම් තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<