2026 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ තරග සියල්ල ඊයේ (28) දිනයෙන් නිමාවට පත් වුනා.
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 48ක් සහභාගී වන අතර, ඉන් කණ්ඩායම් 32ක් පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට සහභාගී වීමට නියමිතයි.
ඒ අනුව මූලික වටයේ පැවැත්වුණු තරග 72 කින් අනතුරුව කණ්ඩායම් 32ක් ඉදිරි වටයට දක්වා සුදුසුකම් ලබා ගත් අතර, ඒ පිළිබඳ තතු විත්ති පහතින් දැක්වෙනවා.
මෙක්සිකෝව
මෙවර ලෝක කුසලානයේ සත්කාරක රටක් ලෙස සහභාගී වෙමින් පළමු වශයෙන් ම ඉදිරි වටයට සුදුසුකම් ලද කණ්ඩායම වූ මෙක්සිකෝව විසින් දකුණු කොරියාව සහ දකුණු අප්‍රිකාවට එරෙහිව කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.
ඇමරිකා එක්සත් ජනපදය
තවත් සත්කාරක රටක් ලෙසින් පැමිණ පැරගුවේ සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම්වලට එරෙහිව ජයග්‍රහණ ලබමින් ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
ජර්මනිය
ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත් කැපී පෙනෙන කණ්ඩායමක් ලෙස පැමිණ පහසුවෙන් ම ඉදිරි වටයට සුදුසුකම් ලබාගත් නමුත්, අවසානයේ දී ඔවුන්ට ඉක්වදෝරය හමුවේ තරගයක් පරාජය වීමට ද සිදු වුනා.
ආජන්ටිනාව
වත්මන් ලෝක ශූරයින් ලෙස පැමිණ තම තරග සියල්ල ජය ගනිමින් ඉතා හොඳ ජයග්‍රාහී මානසිකත්වයක් සමඟ ආජන්ටිනාව ඉදිරියට යනවා. මෙහි දී ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩක Lionel Messiගේ දායකත්වය ද විශේෂයෙන්ම කැපී පෙනෙනවා.
ප්‍රංශය
වත්මන් ලෝක අනුශූරයින් මෙන්ම, මෙවර ලෝක කුසලානය ජය ගනීවි යැයි බොහෝ බලාපොරොත්තු තබා ඇති ප්‍රංශය ද සිය තරග සියල්ල ජය ගනිමින් ඉදිරියට යාමට සමත් වුනා. මෙහි දී Ousmane Dembele සහ Kylian Mbappe යන ක්‍රීඩකයින් ප්‍රංශයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දීමට සමත් වුනා.
නෝර්වේ
ප්‍රංශය සමඟ එකම කාණ්ඩයක රැඳෙමින්, ප්‍රංශයට පමණක් පරාජය වෙමින් නෝර්වේ ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, ඔවුන්ගේ සුපිරි තරුව වන Erling Haaland විසින් මේ දක්වා කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වී තිබෙනවා.
කොලොම්බියාව
DR කොංගෝ සහ උස්බෙකිස්තානය පරාජය කරමින් මෙන්ම, පෘතුගාලය සමඟ තරගය ජය පැරදුමෙන් තොරව නිමා කරමින් මෙවර ලෝක කුසලානයේ වෙනසක් සිදු කළ හැකි කණ්ඩායමක් ලෙසයි කොලොම්බියාව ඉදිරි වටයට පිවිසෙන්නේ.
ස්විස්ටර්ලන්තය
B කාණ්ඩය නියෝජනය කරමින් ලෝක කුසලානයට ආ ස්විස්ටර්ලන්තය විසින් මූලික වටයේ තරග දෙකක් ජය ගනිමින්, එක් තරගයක් ජය පැරදුමෙන් තොර කර ගනිමින් අපරාජිත ව ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
කැනඩාව
ස්විස්ටර්ලන්තය හමුවේ පමණක් පරාජය වෙමින්, කටාර් දේශයට එරෙහිව ජයග්‍රහණයක් ලබමින් තෙවැනි සත්කාරක රට ලෙස කැනඩාව ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, මේ වන විට ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහිව කණ්ඩායම් 32 තරග වටය ද ජය ගැනීමට සමත් වෙමින් අවසන් කණ්ඩායම් 16 අතරට පිවිසීමට පවා සමත් වී සිටිනවා.
බොස්නියාව
B කාණ්ඩය නියෝජනය කරමින් ස්විස්ටර්ලන්තය සහ කැනඩාවට පසුපසින් තෙවැනි ස්ථානයේ රැඳෙමින් පවා ඔවුන් ද ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
බ්‍රසීලය
ලොව විශිෂ්ටතම පාපන්දු දේශය ලෙස බ්‍රසීලය මෙවරත් අපරාජිත ව ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී Vinicius Juniorගෙන් ලැබුණු දායකත්වය විශේෂ කතාබහකට ලක් වුනා.
මොරොක්කෝව
බ්‍රසීලය සමඟ තරගය ජය පැරදුමෙන් තොරව නිම කර ගනිමින් ඔවුන් ද අපරාජිත ව ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
දකුණු අප්‍රිකාව
ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරග වටයකට සුදුසුකම් ලබා ගැනීමට ඔවුන් සමත් වූ අතර, මෙහි දී ඒ සඳහා දකුණු කොරියාව පරාජය කිරීමට ද ඔවුන්ට සිදු වුනා. කෙසේ වෙතත් කණ්ඩායම් 32 තරගවටයේ දී ඔවුන්ට කැනඩාව හමුවේ පරාජය වෙමින් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ඉක්වදෝරය
ජර්මනියට එරෙහිව ලද ගෝල 2-1ක විශිෂ්ට ජයත් සමඟ ඉක්වදෝරය ද පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
අයිවරි කෝස්ට්
ඉක්වදෝරය විසින් ජර්මනිය පරාජය කිරීමට සමත් වූ නමුත්, ඔවුන් අයිවරි කෝස්ට් හමුවේ පරාජය වූ අතර, මෙම ජයත් සමඟයි අයිවරි කෝස්ට් ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබාගත්තේ.
නෙදර්ලන්තය
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත් සාර්ථක කණ්ඩායමක් වන නෙදර්ලන්තය මෙවරත් සිය ගෞරව රැක ගනිමින් අපරාජිත ව ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී ඔවුන් ජපානය සමඟ තරගය පමණක් 2-2ක් ලෙස ජය පැරදුමෙන් තොරව නිමා කර ගත්තා.
ජපානය
නෙදර්ලන්තය සහ ස්වීඩනය හමුවේ තරග සම කර ගනිමින් සහ ටියුනීසියාව පරාජය කරමින් ඔවුන් ද ඉදිරි වටයට සුදුසුකම් ලබා ගත්තා.
ස්වීඩනය
ටියුනීසියාවට එරෙහිව 5-1ක ජයක් මෙන්ම, නෙදර්ලන්තය හමුවේ 5-1ක පරාජයක් ද ලද ස්වීඩනයත් කෙසේ හෝ ඉදිරි වටයට සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
ඕස්ට්‍රේලියාව
තුර්කිය පරාජය කරමින් සහ පැරගුවේ සමඟ තරගය සම කර ගනිමින් ඕස්ට්‍රේලියාව ද ලෝක කුසලානයේ ඉදිරි වටයට යාමට සමත් වුනා.
පැරගුවේ
D කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත් වෙමින් පැරගුවේ කණ්ඩායමට ද ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබුණා.
බෙල්ජියම
G කාණ්ඩය නියෝජනය කරමින් ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට බෙල්ජියම සමත් වුනේ නවසීලන්තයට එරෙහිව ලද ගෝල 5-1ක දැවැන්ත ජයත් සමඟයි.
ඊජිප්තුව
ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරග වටයකට සුදුසුකම් ලබා ගැනීමට ඊජිප්තුව විසින් සමත් වුනේ G කාණ්ඩයේ දී බෙල්ජියමට පමණක් දෙවැනි වෙමිනුයි.
ස්පාඤ්ඤය
මෙවර ලෝක කුසලානය සඳහා ඉදිරිපත් වන තවත් ප්‍රබලතම කණ්ඩායමක් ලෙස ස්පාඤ්ඤයේ නම සටහන් වන අතර, මෙවර H කාණ්ඩයෙන් උරුගුවේ සහ සෞදි අරාබියට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරමින් ඉදිරියට යාමට ඔවුන් සමත් වුනා.
කේප් වර්ඩ්
මෙවර ලෝක කුසලානයේ මෙතෙක් සිදු වූ ආශ්චර්ය ජනකම සිදුවීම ලෙස කේප් වර්ඩ් ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීම හඳුන්වා දිය හැකි. ලෝක කුසලාන වරම් ලද ජනගහණය අතින් තෙවැනියට කුඩාම රට වන කේප් වර්ඩ් විසින් ස්පාඤ්ඤය සමඟ තරගය ද ඇතුළුව තම සියලු තරග ජය පැරදුමෙන් තොරව නිමා කරමින් ලකුණු සටහනේ දෙවැනි තැනට පැමිණියේ උරුගුවේ කණ්ඩායම තෙවැනි තැනට ඇද දමමිනුයි.
සෙනගාලය
සෙනගාලය විසින් මෙවර ලෝක කුසලානයේ I කාණ්ඩය නියෝජනය කරමින් ඉරාකය පරාජය කරමින් ලකුණු සටහනේ තෙවැනි ස්ථානය ලබා ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
පෘතුගාලය
මෙවර ලෝක කුසලානයට පැමිණි තවත් ප්‍රබල කණ්ඩායමක් ලෙස පෘතුගාලය හැඳින්වූ නමුත්, මෙතෙක් ඔවුන් ජය ගැනීමට සමත් වුනේ එක් තරගයක් පමණයි. එහි දී ඔවුන්ගේ සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo විසින් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වුනා.
එංගලන්තය
මෙවර තරගාවලියට එක් වන හොඳම කණ්ඩායම් අතරින් එකක් ලෙස එංගලන්තය ද හඳුනා ගෙන තිබූ අතර, මූලික වටයේ දී තරග දෙකක් ජය ගනිමින් අපරාජිත ව ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී ඔවුන්ගේ කැපී පෙනෙන ක්‍රීඩකයින් ලෙස Harry Kane සහ Jude Bellingham ද විශිෂ්ට දක්ෂතා අතරට පිවිසුණා.
ඝානා
පැනමාවට එරෙහිව තරගය ජය ගනිමින් සහ එංගලන්තය සමඟ තරගය ජය පැරදුමෙන් තොර කර ගනිමින් L කාණ්ඩයේ තෙවැනි ස්ථානය ලද ඝානා කණ්ඩායම ද ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
DR කොංගෝ
උස්බෙකිස්තානයට එරෙහිව 3-1ක ජයක් මෙන්ම පෘතුගාලය සමඟ තරගය 1-1ක් ලෙස සම කර ගනිමින් ද කොංගෝ රාජ්‍යය ඉදිරි වටයට සුදුසුකම් ලබා ගත්තා.
ක්‍රොයේශියාව
මෑත කාලීන ව පාපන්දු ලෝක කුසලානවල කැපී පෙනෙන කණ්ඩායමක් වූ ක්‍රොයේශියාව මෙවර තරගාවලියේ දී ඝානා සහ පැනමාවට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරමින් ඉදිරියට යාමට සමත් වුනා.
ඔස්ට්‍රියාව
මෙවර තරගාවලියේ වඩාත් උණුසුම් කාණ්ඩයක් වූ J කාණ්ඩයේ ආජන්ටිනාව අපරාජිත ව ඉදිරියට යන විට ඇල්ජීරියාව සමඟ කරට කර සටනක නිරත වූ ඔස්ට්‍රියාව දෙවැනි ස්ථානය ලබමින් ඉදිරි වටයට සුදුසුකම් ලබාගත්තා.
ඇල්ජීරියාව
ඔස්ට්‍රියාවට සමඟ කරට කර සටනක නිරත වීමෙන් අනතුරුව ඔවුන් ද J කාණ්ඩයේ ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත් වෙමින් ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
තරගාවලියෙන් ඉවත් වූ කණ්ඩායම්
මේ අතර මූලික වටය නිමා වන විට කණ්ඩායම් 16 තරගාවලියෙන් ඉවතට විසි වී ගියා. මේ අතරින් දකුණු කොරියාවට විශේෂ අවධානයක් හිමි වන්නේ ඔවුන් පසුගිය ලෝක කුසලාන තරගාවලි වල දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ කණ්ඩායමක් නිසායි.
එමෙන්ම දෙවර ලෝක ශූරතාව ජය ගෙන ඇති උරුගුවේ කණ්ඩායමට ද අසාර්ථක තරගාවලියකින් අනතුරුව නැවතත් නිවෙස් බලා හැරී යාමට සිදු වුනා.
මේ අතර තරගාවලිය ආරම්භ වීමට පෙර බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ තුර්කිය ද අසාර්ථක තරගාවලියකින් පසුව ඉවතට විසි වුනා.
එමෙන්ම පාපන්දු ලෝක කුසලානයට සහභාගී වූ ජනගහණය අතින් කුඩාම රාජ්‍යය ලෙස වාර්තා අතරට එක් වූ කුරසාඕ කණ්ඩායම ද ප්‍රේක්ෂකයින්ට විශේෂ මතක රැසක් එක් කරමින් ක්‍රීඩා කිරීමට සමත් වූ නමුත් අවසානයේ තරගාවලියෙන් ඉවතට විසි වුනා.
මේ අතර තරගාවලියේ අවාසනාවන්ත ම කණ්ඩායම ලෙස ඉරානය නම් කළ හැකි අතර, ඔවුන් මූලික වටයේ කිසිදු තරගයක් පරාජය නොවී තරග සියල්ල ජය පැරදුමෙන් තොරව නිමා කර ගැනීමට සමත් වූ නමුත් ඔවුන්ට ඉදිරි වටයට සුදුසුකම් ලැබීමට නොහැකි වුනා.
මේ අයුරින් 2026 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ තරග සියල්ල නිමා වන අතර, මේ වන විට කණ්ඩායම් 32 පිළිමළුන් පිටු දැකීමේ තරග ද ආරම්භ වී තිබෙනවා.
එම තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















