කොරියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියට පස් දෙනෙක්

151

කොරියාවේ ඉන්චියොන් නුවර දී පැවැත්වෙන කොරියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකු සහ එක් පුහුණුකරුවෙකුගෙන් යුතු කණ්ඩායමක් එළඹෙන සිකුරාදා (23) කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.

කිර්ගිස්තානයට ගිය සැමට පදක්කම්

පසුගිය 17 සහ 18 යන දිනයන්වල දී කිර්ගිස්තානයේ බිෂ්කොක් නුවර දී පැවැත්වූ කිර්ගිස්තාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 3 සමඟින් පදක්කම් 7ක් දිනා ගැනීමට සමත් විය.

මෙම කණ්ඩායමට ආසියානු සුදුසුකම් ලැබීමේ තත්වය කරා ළඟා වීමට අපොහොසත් වූ රිටි පැනීමේ ක්‍රීඩක ඉෂාර සඳරුවන් ද ඇතුළත් කර ඇත. කෙසේ වුවත් ඔහු දියගම දී ඔහු විසින්ම තබා තිබූ මීටර 5.11ක ශ්‍රී ලංකා ජාතික වාර්තාව නැවතත් අලුත් කිරීමට සමත් විය.

ඉෂාර සඳරුවන් අදහස් දක්වමින් පවසා සිටියේ;

“මට ආසියානු තරග සඳහා සුදුසුකම් ලැබීමේ මට්ටමට ළඟා වෙන්න හැකිවුණේ නැහැ. නමුත් මම මේ තරගාවලියේ දී ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.”

ඉෂාර සඳරුවන් අවසන් වරට ජාත්‍යන්තර තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූයේ 2016 වසරේ පෙබරවාරි මාසයේ දී ය. එමෙන්ම ඔහු දකුණු ආසියානු තරගාවලියේ දී තරගාවලි වාර්තාවක් ද පිහිටුවමින් රිටි පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ද සමත් විය.

තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායමේ පුහුණුකරු මෙන්ම කළමනාකරු වශයෙන් ද කටයුතු කරන්නේ සඳරුවන්ගේ පුහුණුකරු සනත් ගුණරත්න මහතා යි.

තරගාවලිය සඳහා සහභාගී වන ඉතිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන්නේ දුර පැනීමේ ක්‍රීඩක මොහොමඩ් මිෆ්රාන්, උස පැනීමේ ක්‍රීඩක ඒ. කේ. පතිරණ, මීටර 200 ධාවක එච්. එස්. එස්. කුමාර සහ මීටර 110 කඩුලු මතින් දිවීමේ ක්‍රීඩිකා ලක්‍ෂිකා සුගන්ධි ය.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට