අතිශයින්ම උණුසුම් මුහුණුවරක් ගත් තරගයකින් අනතුරුව ලකුණු 29 – 28ක තියුණු ජයක් සමඟින් මයිලෝ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබන්නට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් විය. ඒ  කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති මෙවර තරගාවලියේ අවසන් අර්ධ අවසන් පූර්ව තරගයේ දී කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරමිනුයි.

මෙවර පාසල් ලීග් තරගාවලියේ අනුශූරයන් වන ඉසිපතනය මෙම තරගය පහසුවෙන් ජය ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ ද, තම කණ්ඩායම එතරම් සුළු කොට තැකිය නොහැකි බව සාන්ත අන්තෝනි කණ්ඩායම ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වූයේ අවසන් මොහොත දක්වා තරගය තුල සක්‍රීයව රැඳී සිටිමිනි.

සාන්ත පීතර ක්‍රීඩකයින් අර්ධ අවසන් වටයට

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ..

සුගතදාස ක්‍රීඩාංගණයේ දීප්තිමත් කාලගුණ තත්ත්වයක් යටතේ ආරම්භ කෙරුණු තරගයේ පළමු මිනිත්තු 10 තුල කණ්ඩායම් දෙකෙන්ම දක්නට ලැබුණේ එතරම් තරගකාරී ක්‍රීඩා රටාවක් නොවේ. කෙසේ වෙතත් කාලයත් සමඟ සියලුම ක්‍රීඩකයන් පාහේ තම තරග රිද්මය සොයා ගත් අතර මිනිත්තු 15ක් අවසානයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනේ සාන්ත අන්තෝනි කණ්ඩායමයි. එහි දී ජිතේන් දවුලගල ඉසිපතන ආරක්ෂක පෙළ බිඳ දමමින් උත්සාහක දිනුම් රේඛාව පසු කරන්නට සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට සැමුවෙල් මධුවන්ත අසමත් විය. (ශා. අන්තෝනි 05 – 00 ඉසිපතන)

අනතුරුව ඉසිපතන ආරක්ෂක පෙළ ක්‍රීඩකයන්ගේ ප්‍රබල ප්‍රතිරෝධය හේතුවෙන් ප්‍රතිවාදීන්ට ලකුණු ලබා ගැනීමට තිබූ අවස්ථා දෙකක් මග හැරුණු අතර ඉසිපතනය ලකුණු පුවරුවේ තම අන්තය ක්‍රියාත්මක කරවූයේ උමේෂ් ජයමාන්න වාර්තා කළ උත්සාහක දිනුමක් මගිනුයි. එහි ප්‍රවර්තනය ද සාර්ථක වූයේ නැත. (ශා. අන්තෝනි 05 – 05 ඉසිපතන)

ඉන් අනතුරුව නදීෂ් චලින්ද ඉසිපතන කණ්ඩායම තවත් ඉදිරියට ගෙන යන්නට සමත් වුනේ සාන්ත අන්තෝනි පසු පෙළ ක්‍රීඩකයන් අතින් ගිලිහුණු පන්දුවක අයිතිය තහවුරු කර ගනිමින් වාර්තා කළ උත්සාහක දිනුමක් මාර්ගයෙනුයි. ගෝල කණු අතරම පතිත කෙරුණු මෙම අවස්ථාව පහසුවෙන් ප්‍රවර්තනය කරන්නට මනිල්ක රුබේරු සමත් විය. (ශා. අන්තෝනි 05 – 12 ඉසිපතන)

කෙසේ වෙතත් සාන්ත අන්තෝනි ක්‍රීඩකයන්ගේ සටන නවතා දමන්නට ඉසිපතන ක්‍රීඩකයන් අසමත් වූ අතර පළමු අර්ධය අවසන් වීමට පෙර එක් වර බැගින්  ඉසිපතන ආරක්ෂාව බිඳ දමමින් උත්සාහක දිනුම් රේඛාව සොයා ගැනීමට සාන්ත අන්තෝනි ෆුල් බැක් ක්‍රීඩක දිනූජ වික්‍රමාරච්චි සහ ලොක් ෆෝවඩ් ක්‍රීඩක දිනේෂ් රොද්‍රිගෝ කටයුතු කරන ලදි. (ශා. අන්තෝනි 15 – 12 ඉසිපතන)

නොවරදින පා පහර සඳහා ප්‍රසිද්ධියක් උසුලන සැමුවෙල් මධුවන්ත මෙම තරගය තුල දී යම් කිසි පසුබෑමකට ලක්ව ඇති බවක් ආරම්භයේ සිටම දක්නට ලැබුණු අතර පළමු අර්ධයේ එකදු ප්‍රවර්තනයක් හෝ සාර්ථක කර ගන්නට ඔහුට හැකියාව නොලැබුණි. එමෙන්ම ඔහුගේ අනෙකුත් පහර තුල ද එතරම් දුරකට පන්දුව යොමු කිරීමේ නිරවද්‍යතාවක් නොතිබීම විමතියට කරුණක් වුවද, පළමු අර්ධය අවසන් වන විට ලකුණු පුවරුවේ වාසිය තමන් සතු කර ගන්නට සාන්ත අන්තෝනි ක්‍රීඩකයන් සමත්ව සිටින ලදි.

පළමු අර්ධය – සාන්ත අන්තෝනි 15 – 12 ඉසිපතන

විවේකයෙන් අනතුරුව වඩාත් ජවසම්පන්නව පිටියට පිවිසි සාන්ත අන්තෝනි ක්‍රීඩකයන් සැමුවෙල් මධුවන්ත ප්‍රතිවාදීන්  අතරින් රිංගා යමින් ලබා දුන් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට සමත් වුනේ රොද්‍රිගෝ තම දෙවන උත්සාහක දිනුමත් වාර්තා කිරීමත් සමඟයි. මෙවර තම ප්‍රවර්තනය ද සාර්ථකව එල්ල කරන්නට මධුවන්ත සමත් විය. (ශා. අන්තෝනි 22 – 12 ඉසිපතන)

එම ප්‍රවර්තනය සමඟින් සිය තරග රිද්මය නැවත සොයා ගත් මධුවන්ත තමන්ව කිසිසේත්ම තරගයෙන් ඉවත් කර තැබිය නොහැකි බව ඔප්පු කළේ මීටර් 40ක පමණ දුරක සිට අනභිභවනීය ඩ්‍රොප් ගෝලයක් වාර්තා කරමිනුයි. (ශා. අන්තෝනි 25 – 12 ඉසිපතන)

ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ නොසිතු ප්‍රහාරය හමුවේ වුවද හරිත බලකායේ අභිප්‍රාය විනාශ නොවන බව ප්‍රේක්ෂකයන්ට මතක් කරන්නට ඉසිපතන ක්‍රීඩකයන් සමත් වුනේ සාන්ත අන්තෝනි අර්ධයේ ගෝල සීමාව ආසන්නයේ ලැබුණු පන්දුව පිටිය තුලට යොමු කිරීමේ අවස්ථාවක් (LIne out) මගින් සිය 3 වන උත්සාහක දිනුම වාර්තා කරමිනුයි. එහි අයිතිය සුධීර ගයානාත් හට හිමි වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (ශා. අන්තෝනි 25 – 17 ඉසිපතන)

ඉසිපතන කණ්ඩායමෙන් සිදු වූ වරදක් හේතුවෙන් ඔවුන්ගේ මීටර් 22 සීමාව තුල ප්‍රතිවාදීන්ට ලැබුණු දඬුවම් පහරක් නිවැරදිව ගෝල කණු අතරින් එල්ල කරන්නට සැමුවෙල් මධුවන්ත සමත් වුනේ සාන්ත අන්තෝනි කණ්ඩායමේ ලකුණු වාසිය 11ක් දක්වා ඉහළ දමමිනුයි. (ශා. අන්තෝනි 28 – 17 ඉසිපතන)

තරගය අවසන් වීමට මිනිත්තු 10ක් පමණක් ඉතිරිව තිබුණු මොහොතක ලකුණු 11ක වාසිය ජයග්‍රහණය තහවුරු කළ හැකි සීමාවක් ලෙස දිස්වුවද තරගය අත් හැරීමට සූදානම්ව සිටියේ ඉසිපතන ක්‍රීඩකයන් නම් නොවේ. කිසිදා නොසිඳෙන ඉසිපතන තරගකාරීත්වය පෙන්නුම් කරමින් ප්‍රතිවාදී ගෝල කණු අතරටම පන්දුව ගෙන යන්නට රැන්ඩි සිල්වා සමත් වූ අතර රුබේරු එහි ප්‍රවර්තනය ද  සාර්ථක කර ගත්තේ ලකුණු පරතරය උත්සාහක දිනුමක මට්ටමටත් වඩා අඩු කරමිනුයි. (ශා. අන්තෝනි 28 – 24 ඉසිපතන)

තරගය අතිශයින් උණුසුම් වූ අවස්ථාවක ඉසිපතන ක්‍රීඩකයන්ගේ ඉක්මන් සහ නුවණැති තීරණ හමුවේ සාන්ත අන්තෝනි ආරක්ෂක ක්‍රීඩකයන් අතුරින් හිඩැසක් සොයා ගන්නට ෆ්ලයි හාෆ් ක්‍රීඩක අංජන තුෂාන් සමත් වූ අතර ක්‍රීඩාංගණයේ වම් කෙළවර වෙත ගෙන ගිය පන්දුව උත්සාහක දිනුමක් බවට පත් වෙද්දී ඉසිපතනයට තරගයේ පෙරමුණ ගැනීම සඳහා එහි ප්‍රවර්තනය අවශ්‍ය වූයේ නැත. (ශා. අන්තෝනි 28 – 29 ඉසිපතන)

එක් ලකුණක පරතරය පියවා ගනිමින් තරගය ජය ගැනීම සඳහා සාන්ත අන්තෝනි විද්‍යාලයට තවත් එක් අවසන් අවස්ථාවක් හිමි වූ අතර සැමුවෙල් මධුවන්ත තවත් ඩ්‍රොප් ගෝලයක් සඳහා ගත් උත්සාහය මග හැරී ගියේ අඟල් කිහිපයක වෙනසකිනි. ඒ සමඟින් විනිසුරු රොෂාන් ප්‍රනාන්දුගේ තරග අවසන් සංඥාව නිකුත් විය. මධුවන්තගේ අවසන් ඩ්‍රොප් ගෝල උත්සාහය මෙන්ම සාන්ත අන්තෝනි කණ්ඩායමේ අර්ධ අවසන් වටයට පිවිසීමේ බලාපොරොත්තු ද නූලෙන් මග හැරෙද්දී ඉසිපතන ක්‍රීඩකයන්ට සහ ඔවුන්ගේ ක්‍රීඩාලෝලීන්ට මිනිත්තු 80ක් පුරා දල්වා ගෙන සිටි ඇසි පිය සැනසුම් සුසුමක් සමඟින් පහත හෙළන්නට අවස්ථාව හිමි විය.  

අවසන් ප්‍රතිඵලය :

  • සාන්ත අන්තෝනි 28 – (උත්සාහක දිනුම් – 4, ප්‍රවර්තන -1, දඬුවම් පහර -1, ඩ්‍රොප් ගෝල -1)
  • ඉසිපතන 29 – (උත්සාහක දිනුම් – 5, ප්‍රවර්තන – 2)

ThePapare තරගයේ වීරයා – මනිල්ක රුබේරු (ඉසිපතන විද්‍යාලය)

තරගයෙන් අනතුරුව ThePapare.com වෙත අදහස් දැක්වූ රීසා මුබාරක් මෙසේ පැවසීය. ”මෙය ඉතාමත් අසීරු අභියෝගයක් වුනා. සාන්ත අන්තෝනි කණ්ඩායම ඉතා ප්‍රබල සටනක් ලබා දුන්නා. අපි තරගය පුරා, විශේෂයෙන්ම අවසන් මිනිත්තු 20 තුල ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත අනුගමනය කිරීම තමයි අවසානයේ අපේ ජයග්‍රහණය සඳහා ප්‍රධාන හේතුව වුනේ.”

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් –

සාන්ත අන්තෝනි 28 (15)

  • උත්සාහක දිනුම් : ජිතේන් දවුලගල, දිනූජ වික්‍රමාරච්චි, දිනේෂ් රොද්‍රිගෝ (2)
  • ප්‍රවර්තන : සැමුවෙල් මධුවන්ත
  • දඬුවම් පහර : සැමුවෙල් මධුවන්ත
  • ඩ්‍රොප් ගෝල : සැමුවෙල් මධුවන්ත

ඉසිපතන විද්‍යාලය : 29 (12)

  • උත්සාහක දිනුම්: උමේෂ් ජයමාන්න, නදීෂ් චලින්ද, සුධීර ගයානාත්, රැන්ඩි සිල්වා, අංජන තුෂාන්.
  • ප්‍රවර්තන: මනිල්ක රුබේරු (2)

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට