මිනෝද්, ඕෂද සහ නිමේෂ පළමු පෙළ ශතක අතරට

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

755
Dialog-SLC National Super League 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් (NSL) සිව්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ තවත් තරග දෙකක් අද (10) දඹුල්ලේ දී සහ කොළඹ දී ආරම්භ වුනා.

දඹුල්ල සහ ගාල්ල

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. පළමු දිනයේ දී ශතක දෙකක් වාර්තා වුනු අතර නායක මිනෝද් භානුක සහ නිමේෂ ගුණසිංහ එම ශතකවල හිමිකරුවන් බවට පත්වුනා.

4 පහර 5ක් එල්ල කරමින් පන්දු 221ක් තුල ලකුණු 103ක් ලබා ගත් දඹුල්ල ආරම්භක පිතිකරු ගුණසිංහ ඔවුන්ගේ මුල්පෙළ ගොඩනැංවීම සඳහා හොඳ අඩිතාලමක් සකස් කළා. ලකුණු 105/3ක් ලෙස සටහන්ව තිබූ දඹුල්ල පළමු ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් මිනෝද් සමඟ එක්වුණු ගුණසිංහ ලකුණු 194ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවූවා.

දිනයේ නිමාව සටහන් වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින මිනෝද්, 4 පහර 17ක් එල්ල කරමින් ලකුණු 140*ක් ලබාගෙන සිටින අතර ඔහු අද දිනයේ දී සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ ලබා ගත් 12 වැනි ශතකය සම්පූර්ණ කරගත්තා. දකුණතින් දඟපන්දු යවන අකිල දනංජය දැනට කඩුලු 3ක් දවාගෙන තිබෙනවා.

දිනයේ නිමාව සටහන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන දඹුල්ල ක්‍රීඩකයින් කඩුලු 5ක් දැවී ලකුණු 332ක් ලබාගෙන හොඳ ස්ථාවර මට්ටමක සිටියා. 2022 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ රනුද සෝමරත්න මේ තරගයේ දී දඹුල්ල වෙනුවෙන් ක්‍රීඩා කරමින් පළමු පෙළ වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

දඹුල්ල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 332/5 (89.3): මිනෝද් භානුක 140*, නිමේෂ ගුණසිංහ 103, අකිල දනංජය 3/74.

මහනුවර සහ කොළඹ

මේ තරගාවලිය පුරාවට හොඳින් ලකුණු අතර සිටින මහනුවර කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු තවත් පළමු පෙළ ශතකයක් වාර්තා කර ගත් මේ තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයින් තරගයේ පළමු දිනය තුල දී ලකුණු 241කට දැවී ගියා. එයට පිළිතුරු ලෙස පළමු ඉනිම දියත් කරන කොළඹ ක්‍රීඩකයින් දිනයේ නිමාව සටහන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 28ක් ලබාගෙන අසීරු මට්ටමක සිටියා.

මහනුවර පළමු ඉනිම වෙනුවෙන් ඕෂද ලබා ගත් සටන්කාමී ශතකය සහ කසුන් විදුර ලබා ගත් ලකුණු 43 හැරෙන්නට ඔවුන්ගේ අනෙක් පිතිකරුවන් හට මේ ඉනිමේ දී නිසි රිද්මයකට පැමිණීමට ප්‍රභාත් ජයසූරිය (3/47) සහ ලක්ෂිත රසාංජන (3/59) ඇතුළු කොළඹ පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

පන්දු 154ක දී වාර්තා වුනු ඕෂදගේ ලකුණු 105 ඉනිම 4 පහර 15කින් සහ එක් 6 පහරකින් වර්ණවත් වුනු අතර, එය ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ ලබා ගත් 14 වැනි සහ මේ තරගාවලියේ ලබා ගත් දෙවැනි ශතකයයි.

මහනුවර පළමු ඉනිම – 241 (71): ඕෂද ප්‍රනාන්දු 105, කසුන් විදුර 43, ප්‍රභාත් ජයසූරිය 3/47, ලක්ෂිත රසාංජන 3/59, කසුන් රාජිත 2/43, නිසල තාරක 2/61.

කොළඹ පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 28/4 (13.4) අසිත ප්‍රනාන්දු 2/12.

මේ තරග දෙකම හෙට (11) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<