මහේලගේ Southern Brave මංගල Hundred ශූරතාවයට

381
(Sky Sports)

පළමු වරට පැවැත්වුණු The Hundred ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (21) Birmingham Phoenix හා Southern Brave කණ්ඩායම් අතර පැවැත්වුණා. එහි දී Phoenix පරාජය කරමින් ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දරන Southern Brave ශූරතාවය දිනා ගැනීම විශේෂත්වයක්.

Southern Brave තමන් සහභාගී වූ පළමු තරග දෙකම පරාජය වූ නමුත් එතැන් සිට අපරාජිතව අවසන් මහා තරගය වෙත පැමිණීමට ඔවුන් සමත් වුනා. Phoenix අවසන් මහා තරගයට පිවිසුණේ Liam Livingstoneගේ විශිෂ්ට පිතිකරණයේ සවියෙනුයි. තරගාවලියේ වැඩිම හයේ පහර ගණනක් එල්ල කළ ක්‍රීඩකයා ලෙස Phoenix කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුව වුනේ Livingstone.

එංගලන්තයේ Lord’s ක්‍රීඩාංගණයේ පැවැත්වුණු අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහර දුන් Southern Brave නියමිත පන්දු 100 අවසානයේ කඩුලු 5කට ලකුණු 168ක් රැස් කරගන්නට සමත් වුනා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් Paul Stirling වේගවත් ලකුණු 61ක් රැස් කළා. පන්දු 36කින් වාර්තා වුණු ඔහුගේ එම ඉනිමට හයේ පහර හයක් ද ඇතුළත්.

තවත් ක්‍රිකට් පුවත්:

ඔහුට අනගි සහයක් ලබා දුන් Ross Whiteley පන්දු 19ක දී ලකුණු 44ක් රැස් කළේ අවසන් පන්දු 65 දී ලකුණු 138ක් සිය කණ්ඩායමට ලබා දෙමිනුයි. ආරම්හක පිතිකරු Quinton de Kockට හා Brave නායක James Vinceට අවසන් මහා තරගයේ දී එතරම් දස්කම් දක්වන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

Phoenix වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු Adam Milne පන්දු 20ක් යවා ලකුණු 8කට කඩුලු දෙකක් බිඳ හෙළන්නට සමත් වුනා. එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට නම් කළ නවසිලන්ත සංචිතයේ ස්ථිර ස්ථානයක් Milne හට නොමැති පසුබිමක ඔහු මෙලෙස දස්කම් දැක්වීම කැපී පෙනෙන කරුණක්. Imran Tahir, Benny Howell හා Liam Livingstone Phoenix වෙනුවෙන් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Birmingham Phoenix කණ්ඩායමට කඩුලු පහක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 136ක් පමණයි. Brave වේගපන්දු යවන්නන් වන Craig Overton හා George Garton පන්දු 20ක දී ලකුණු 14කට Phoenix ආරම්භක පිතිකරුවන් නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් වුනා.

තරගාවලියේ විශිෂ්ටතම පිතිකරුවා වූ Livingstone නැවත වතාවක් ක්‍රියාත්මක වෙමින් පිටිය පුරා හයේ පහර එල්ල කළ අතර ඔහු පන්දු 19ක දී ලකුණු 46ක් රැස් කරන්නට සමත් වුනා. කෙසේ වෙතත් ඉතා දුර්වල කඩුලු අතර දිව යාමක් නිසා ඔහු තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේ Phoenix බලාපොරොත්තු ද ඔහුත් සමඟම පිටියෙන් ඉවතට රැගෙන යමිනුයි. නායක Moeen Ali පන්දු 30ක දී ලකුණු 36ක් රැස් කළත්, ජයග්‍රහණයට එම ඉනිම ප්‍රමාණවත් වුනේ නැහැ.

තරගයේ වීරයා ලෙස Brave කණ්ඩායමේ Paul Stirling ද, Phoenix කණ්ඩායමේ Liam Livingstone තරගාවලියේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තා.

  • Southern Brave 168/5 (100) – Paul Stirling 61 (36), Ross Whiteley* 44 (19), Adam Milne 2/8(20)
  • Birmingham Phoenix 136/5 (100) – Liam Livingstone 46 (19), Moeen Ali 36 (30), Tymal Mills 1/13(20)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<