ධනංජය සහ අංජුල දවසේ වීරයන් වෙයි

Dialog – SLC National Super League Limited Over Tournament 2022

1577
Dialog-SLC National Super League 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Dialog – SLC National Super League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (04) දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත් වීමට ධනංජය ද සිල්වා සහ කවිශ්ක අංජුල සමත් වුනා.

යාපනය කණ්ඩායම නියෝජනය කරන නායක ධනංජය ද සිල්වා පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 101ක් රැස් කරගත්තා. එය මෙවර තරගාවලියේ වාර්තා වූ දෙවැනි ශතකයයි.

ගාල්ල කණ්ඩායම නියෝජනය කරන කවිශ්ක අංජුල කඩා වැටෙමින් තිබූ තම කණ්ඩායමේ ඉනිමට ශක්තියක් වෙමින් පන්දු 73කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 75ක් වාර්තා කරගත්තා.

අද නිමා වූ තරගවල දී දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 51ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට යාපනය ක්‍රීඩකයන් සමත් වූ අතර කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 44ක ජයග්‍රහණයක් හිමි කරගැනීමට ගාලු ක්‍රීඩකයන් සමත් වුනා.

යාපනය සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගය 

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුලු ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයන් කඩුලු 8ක් දැවී ලකුණු 266ක් වාර්තා කරගත්තා. ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී දඹුලු ක්‍රීඩකයන්ට රැස් කරගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 215ක් පමණයි.

යාපනය ඉනිමේ ලකුණු 17කට කඩුලු 3ක් බිඳ වැටී තිබිය දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ශතකයක් රැස් කරගැනීම කැපී පෙනුනා. ඔහු සිව්වැනි කඩුල්ලට සංතුශ් ගුණතිලක සමඟ ලකුණු 83ක සබඳතාවක් එක් කළා. ඒ පන්දු 112ක් වැය කරමින්. සංතුශ් ගුණතිලක පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 39ක් රැස් කරගත්තා.

අනතුරුව ධනංජය ද සිල්වා සහ රවිඳු ප්‍රනාන්දු හය වැනි කඩුල්ලට පන්දු 96ක දී ලකුණු 95ක් රැස් කළා. රවිඳු ප්‍රනාන්දු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුනු 37ක් වාර්තා කරගත්තා.

පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන් ලකුණු 61කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතරව දුශාන් හේමන්ත කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සමීර සඳමාල්. ඔහු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 46ක් රැස් කරගත්තා. ඊට අමතරව දුවිඳු තිලකරත්න පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් වාර්තා කරගත්තා.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් කඩුලු 3ක් දවා ගත් අතර ඉෂාන් ජයරත්න සහ දමිත සිල්වා කඩුලු 2 බැගින් දවා ගත්තා.

ලකුණු පුවරුව:

යාපනය කණ්ඩායම – කඩුලු 8ක් දැවී 266 (50): ධනංජය ද සිල්වා 101, සංතුශ් ගුණතිලක 39, ඉෂාන් ජයරත්න 20, රවිඳු ප්‍රනාන්දු 37, ලහිරු සමරකෝන් 4/61, දුශාන් හේමන්ත 2/46.

දඹුල්ල කණ්ඩායම – කඩුලු 9ක් දැවී 215 (50): ගයාන් මනීශාන් 22, ලසිත් අබේරත්න 35, සමීර සඳමාල් 46, දුවිඳු තිලකරත්න 42, ඉෂාන් ජයරත්න 2/25, නුවන් ප්‍රදීප් 3/40, දමිත සිල්වා 2/29.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර තරගය

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලකුණු 225ක් වාර්තා කරගත්තා. හඹා යන ඉනිමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයන්ට සියලුම දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 181ක් පමණයි.

ගාල්ල ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ 24 හැවිරිදි වමත් පිතිකරු කවිශ්ක අංජුල. ඔහු කණ්ඩායමට වඩාත් අවශ්‍යම අවස්ථාවක ක්‍රියාත්මක වෙමින් ලකුණු 75ක් වාර්තා කරගත්තා. ඔහු නායක අකිල ධනංජය හා එක් වෙමින් නවවැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ද චලන ද සිල්වා සමඟින් අවසන් කඩුල්ලට ලකුණු 64ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී කලන පෙරේරා, හිමේෂ් රාමානයක, ලහිරු මධුශංක සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු පරාජිත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලහිරු මධුශංක. ඔහු පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 43ක් රැස් කරගත්තා. ඊට අමතරව නායක දිමුත් කරුණාරත්න පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 42ක් වාර්තා කරගත්තා.

කොළඹ ඉනිම පාලනය කිරීමේ දී චලන ද සිල්වා ලකුණු 27කට කඩුලු 3ක් ද, ප්‍රියමාල් පෙරේරා ලකුණු 9කට කඩුලු 2ක් ද දවා ගත්තා. ඊට අමතරව කවිශ්ක අංජුල, අකිල ධනංජය, නිමේෂ් විමුක්ති සහ ජෙහාන් ඩැනියෙල් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු පුවරුව:

ගාල්ල කණ්ඩායම – සියලු දෙනා දැවී 225 (50): මොහොමඩ් ශමාස් 20, ජෙහාන් ඩැනියෙල් 20, කවිශ්ක අංජුල 75, අකිල ධනංජය 22, චලන ද සිල්වා නොදැවී 27, කලන පෙරේරා 2/46, හිමේෂ් රාමානායක 2/51, ලහිරු මධුශංක 2/18, තරිඳු රත්නායක 2/64.

කොළඹ කණ්ඩායම – සියලු දෙනා දැවී 181 (45.5): දිමුත් කරුණාරත්න 42, නිපුන් ධනංජය 26, ලහිරු මධුශංක 43, ප්‍රියමාල් පෙරේරා 09/2, චලන ද සිල්වා 3/27.

තරගාවලියේ 13 වැනි තරගය දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද 14 වැනි තරගය මහනුවර සහ යාපනය කණ්ඩායම් අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThaPapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<