මොවුන් දෙදෙනා වටිනා ක්‍රීඩකයින් ලෙස නොදැකීම කනගාටුවට කරුණක් – Aakash Chopra

21877

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වන මහා ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන පෙබරවාරි 12 හා 13 දිනවල දී පැවැත්වීමට නියමිතයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය ඉතා වැදගත් වන්නේ නව කණ්ඩායම් දෙකක් තරගාවලියට එක්වීම නිසයි. Bengaluru හිදී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 590ක් ලියාපදිංචි වී තිබීම විශේෂත්වයක්.

ඉන්දීය හිටපු ආරම්භක පිතිකරු Aakash Chopra පවසා සිටින්නේ marquee players කාණ්ඩයට අයත් Kagiso Rabada හා Trent Boultට පසුව ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග මෙවර ක්‍රීඩක වෙන්දේසිය වැඩිම මිලකට අලෙවි වන විදෙස් පන්දු යවන්නා බවට පත් විය හැකි බවයි.

වනිඳු 2021 IPL තරගාවලියේ දී Royal Challengers Bangalore වෙනුවෙන් ක්‍රීඩා කළා. ඔහුට එහි දී ක්‍රීඩා කරන්නට ලැබුණේ තරග දෙකක් පමණයි. Tabraiz Shamsiට සමඟ 2021 වසරේ දී විස්සයි විස්ස පිටියේ වැඩිම කඩුලු ලාභියා වන වනිඳුට නියම කර ඇති අවම මිල ඉන්දීය රුපියල් කෝටියක්.

මම ක්‍රීඩක වෙන්දේසියේ ඉන්නවා නම් මම වනිඳු හසරංග තෝරා ගන්නවා. ඔහු  විශිෂ්ට දඟපන්දු යවන්නෙක්. පන්දුවාර හතරක් යැවිය හැකි විශිෂ්ටයෙක්. ඔහු ඉනිමේ මැද පන්දුවාරවල පන්දුවාර හතරක් යවාවි. ඔහුට නව පන්දුවෙනුත් පන්දු යවන්න පුළුවන්. RCB ඔහුව ඉතා සුළු මුදලකට ගත්තත්, ඔහුව නිවැරදි ලෙස භාවිතා කළේ නැහැ”, Chopra  පවසා තිබුණා.

කණ්ඩායම් ඔහුට කෝටි 4ක් 5ක් වැය කරන්න ඕනේ. විදෙස් පන්දු යවන්නෙක් ලෙස ඔහු ඉතා හොඳ තෝරා ගැනීමක්. ඔහු පන්දු යවන්නෙක්, පිතිකරුවෙක් වගේම හොඳ පන්දු රකින්නෙක්. ඔහුට විස්සයි විස්ස පිටියේ සාර්ථක වෙන්න හැකියාව තිබෙනවා.”

Chopra පවසා සිටියේ දුෂ්මන්ත චමීර අවතක්සේරුවට ලක්වූ පන්දු යවන්නෙක් බවයි. “චමීරට නිසි තැන ලැබිලා නැහැ. මම දන්නේ නැහැ ඒ ඔහු ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන නිසා ද කියලා. තරගාවලියට එක්වන පුහුණුකරුවන් ගොඩක් ඕස්ට්‍රේලියානු ජාතිකයින්. ඒ නිසා ඔවුන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් වන Riley Meredith, Jhye Richardson, Kyle Jamieson වැනි පන්දු යවන්නන්ට අවස්ථාව දෙනවා. වනිඳු හසරංග හා දුෂ්මන්ත චමීරව නැගී එන වටිනා ක්‍රීඩකයින් ලෙස නොදැකීම කනගාටුවට කරුණක්.”

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<