පුලිනගෙන් ගමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක්

Dialog – SLC National Super League Limited Over Tournament 2022

1596

මහනුවර කණ්ඩායමේ දකුණතින් පා දඟපන්දු යවන 29 හැවිරිදි පුලින තරංග ගාල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින් Dialog – SLC National Super League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නට සමත් වුනා.

ගාල්ල කණ්ඩායමේ 25 වැනි පන්දුවාරයේ අවසන් පන්දු දෙකේ දී කවිශ්ක අංජුල (1) සහ මුදිත ලක්ෂාන් (0) දවා ගන්නා පුලින තරංග, ඉන් අනතුරුව යැවුණු 27 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී පබසර වඩුගේ (50) දවා ගනිමින් එම දක්ෂතාව දැක්වූවා.

අද පැවති තරගවල දී ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 96ක ජයග්‍රහණයක් හිමි කරගැනීමට මහනුවර ක්‍රීඩකයන් ද, කොළඹ කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කරගැනීමට යාපනය ක්‍රීඩකයන් ද සමත් වුනා.

මහනුවර සහ ගාල්ල අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගාල්ල ක්‍රීඩකයන් පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තා. ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලකුණු 269ක් රැස්කර ගත්තා. පිළිතුරු ලෙසින් ගාල්ල ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 173ක් පමණයි.

මහනුවර කණ්ඩායම ආරම්භයේ සිටම තරගයේ පාලනය සියතට ගෙන සිටි බවක් දක්නට ලැබුණා. ඔවුන්ගේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය පන්දු 46කට ලකුණු 63ක්. ඒ, අද තරගයේ නායකත්වය දැරූ නිරෝෂන් දික්වැල්ල සහ ලහිරු උදාර අතරයි.

නිරෝෂන් දික්වැල්ල පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 46ක් රැස්කර ගත්තා. අනතුරුව කඩුල්ලට ලහිරු උදාර සමඟ එක් වූ ලසිත් කෲස්පුල්ලේ පන්දු 84කින් ලකුණු 69ක් වාර්තා කළා.

එවර කඩුල්ල අහිමි කර ගත්තේ ලසිත් කෲස්පුල්ලේ. ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 46ක් වාර්තා කරගත්තා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් ද අර්ධ ශතක සබඳතාවක් එක් කිරීමට මහනුවර ක්‍රීඩකයන් සමත් වුනා. ඊට එක් වූයේ ලහිරු උදාර සහ ඕෂඳ ප්‍රනාන්දු. ලහිරු උදාර පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 63ක් රැස් කරගෙන සිටිය දී එම කඩුල්ලේ සබඳතාව අවසන් වූවා.

ඕෂඳ ප්‍රනාන්දු පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් වාර්තා කරගත්තා. සහන් ආරච්චි රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 21ක්.

මහනුවර ඉනිමේ අවසන් කඩුලු 5 පන්දු 15ක් තුළ දවා ගැනීමට ගාලු ක්‍රීඩකයන් සමත් වීම කැපී පෙනුණා. ඒ වන විට එක් අන්තයක් ආරක්ෂා කර ගත් පුලින තරංග, ඉනිම අවසන් වන විට පන්දු 15කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් වාර්තා කරගෙන සිටියා.

පන්දු යැවීමේ දී අකිල ධනංජය ලකුණු 61කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වන විට 24 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන කවිශ්ක අංජුල කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ගාලු ඉනිමේ ආරම්භක කඩුල්ල පන්දු 12කට පමණක් සීමා වුනා. එසේ වූවත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක සබඳතාවක් ගොඩ නැගීමට පබසර වඩුගේ සහ අශාන් රන්දික සමත් වුනා. රන්දික පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් රැස්කර ගත්තා.

එතැන් සිට තරගයේ පාලනය ගාලු පුරවරයේ වෙසෙමින් මහනුවරට ක්‍රීඩා කරන පුලින තරංග සතු වුනා. ඔහු ගාලු කණ්ඩායමේ කඩුලු දඩයම ආරම්භ කරන්නේ දුෂාන් විමුක්තිගේ (13) කඩුල්ල දවා ගනිමින්.

එතැන් සිට පන්දු 15ක් තුළ කඩුලු  ත්‍රිත්වයක් සමඟින් ඔහු කඩුලු 5ක් දවා ගන්නවා. ගාලු ඉනිමේ අවසන් කඩුල්ලත් දවා ගත් පුලින, පන්දුවාර 7.2ක් යවමින් ලකුණු 29කට කඩුලු 6ක් දවා ගන්නවා. එය ඔහුගේ List A කාණ්ඩයේ හොඳම පන්දු යැවීමයි.

ගාලු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පබසර වඩුගේ. ඔහු පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 50ක් රැස් කරගත්තා.

ලකුණු පුවරුව:

මහනුවර කණ්ඩායම – සියලුම දෙනා දැවී 269 (47.3): නිරෝෂන් දික්වැල්ල 46, ලහිරු උදාර 63, ලසිත් කෲස්පුල්ලේ 46, ඕෂඳ ප්‍රනාන්දු 56, සහන් ආරච්චිගේ 21, පුලින තරංග නොදැවී 20, කවිශ්ක අංජුල 2/34, අකිල ධනංජය 5/61.

ගාල්ල කණ්ඩායම – සියලුම දෙනා දැවී173 (42.2): පබසර වඩුගේ 50, අශාන් රන්දික 28, හේෂාන් හෙට්ටිආරච්චි 21, නිමේෂ් විමුක්ති 22, ලසිත් ඇඹුල්දෙණිය 2/36, පුලින තරංග 6/29.

කොළඹ සහ යාපනය අතර තරගය

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 247ක් රැස්කර ගත්තා. හඹා යන ඉනිමේ එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී, තවත් පන්දු 20ක් ඉතිරිව තිබිය දී සපුරා ගැනීමට යාපනය ක්‍රීඩකයන් සමත් වුනා.

කොළඹ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ අශේන් බණ්ඩාර. ඔහු පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 75ක් රැස්කර ගත්තා.

සම්මු අශාන් හා එක් වූ ඔහු පන්දු 153ක දී ලකුණු 111ක සබඳතාවක් එක් කළා. සම්මු අශාන් රැස් කළ ලකුණු සංඛ්‍යාව හතරේ පහර දෙකක් සමඟින් පන්දු 61කට ලකුණු 43ක්. ඔහුට අමතරව ලහිරු මධුශංක පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවීමේ දී වේගපන්දු යවන නිමන්ද මධුශංක ලකුණු 39කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ දී කොළඹ ක්‍රීඩකයන් දැඩි පීඩනයකට පත් කිරීමට යාපනය ක්‍රීඩකයන් සමත් වුනා. එහි නියමුවා වූයේ ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම. ඔහු ඉනිම අවසන් වන විට පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 91ක් වාර්තා කරගෙන සිටියා.

ඊට අමතරව ඔහු ලහිරු තිරිමාන්න හා පළමු කඩුල්ලට එක් වෙමින් ලකුණු 91ක සබඳතාවක් එක් කරමින් ජයග්‍රහණයේ අඩිතාලම දැමුවා. ලහිරු තිරිමාන්න පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් රැස්කර ගත්තා.

තරගය අවසන් වන විට 5 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුනු ලකුණු 70ක සබඳතාවක් එක් කිරීමට සදීර සමරවික්‍රම සහ සංතුශ් ගුණතිලක සමත් වුනා. ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වන විට සංතුශ් ගුණතිලක පන්දු 29කට මුහුණ දී හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් වාර්තා කරගෙන සිටියා.

පන්දු යැවීමේ දී තරිඳු රත්නායක ලකුණු 56කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු සටහන:

කොළඹ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 247 (50): සම්මු අශාන් 43, අශේන් බණ්ඩාර 75, ලහිරු මධුශංක 42, නිමන්ද මධුශංක 4/39.

යාපනය කණ්ඩායම – කඩුලු 4ක් දැවී 248 (46.4): සධීර සමරවික්‍රම නොදැවී 91, ලහිරු තිරිමාන්න 52, දමිත සිල්වා 27, රවිඳු ප්‍රනානාදු 27, සංතුශ් ගුණතිලක නොදැවී 25.

අද පැවති තරග දෙකත් සමඟින් කොළඹ දී පැවති තරග අවසන් වන අතර පෙබරවාරි 4 වැනිදා සිට අනෙක් සියලු තරග දඹුල්ලේ දී සහ පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එදිනට පැවැත්වෙන තරගාවලියේ 11 වැනි තරගය දඹුල්ල සහ යාපනය කණ්ඩායම් අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද, 12 වැනි තරගය කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න, ThaPapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<