යොවුන් ක්‍රීඩකයන් වැඩ පෙන්වූ Dialog – SLC T20 තරගාවලිය

Dialog – SLC ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය

399

සැප්තැම්බර් මස 02 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයත්, ඔක්තෝබර් මස පැවැත්වෙන ICC ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියත් ඉලක්ක කරගනිමින් පැවති Dialog – SLC ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් SLC Greys කණ්ඩායමට හිමි වුනා. 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම මෙරට ජනප්‍රියම ක්‍රීඩාවට අතහිත දෙමින් පැවති මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් බලාපොරොත්තු වූ නවක ක්‍රීඩකයන්ගේ දක්ෂතා සහ ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා එකිනෙකා පරයමින් පැවති තරගකාරීත්වය මෙරට ප්‍රේක්ෂකයන්ට සමීප කරවීමේ දී Dialog Axiata PLC අනර්ඝ මෙහෙවරක නිරත වූවා. 

කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් බොහෝ දේවල් අකර්මන්‍ය වූ මොහොතක ආරක්ෂිතව මෙම තරගාවලියේ සජීව දසුන්, ඡායාරූප, විශේෂ අවස්ථා ඇතුළු සියලු දේ මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙත සමීප කිරීමට දේශීය සන්නාමය සහිත ThePapare.com වෙබ් අඩවියට හැකි වීම මෙරට ක්‍රීඩා වෙබ් අවකාශ අතර ප්‍රමුඛ ස්ථානයේ සිටින අප ලද වගවීමකි. එය වගකීමට වඩා එහා ගිය සේවයක් සේ ThePapare.com සලකමු. ඉදිරි තරගාවලි වලදීත් ඒ ආකාරයෙන්ම ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමින් අප නිමා වූ තරගාවලියේ ගුණ දොස් විමසමු. 

එක වූ දස්සාගේ දක්ෂතා 

තරගාවලියේ වඩාත් කැපී පෙනෙන සහ වටිනාම ක්‍රීඩකයා වූයේ SLC Greys කණ්ඩායමේ නායක දසුන් ශානකයි. ඔහු තරග 6ක දී ඉනිම් 6 ම ක්‍රීඩා කරමින් අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 258ක් රැස් කරගත්තා. නායකයෙක් ලෙසින් වැඩි වගකීම් දරමින් ඔහු කළ මෙහෙය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන නායකත්වය, අනාගත නායකත්වය දක්වා ස්ථාවර වීමේ ලකුණු පහළ කිරීමකි. 

ඊටත් වඩා දසුන්ගේ නායකත්වය වඩාත් කැපී පෙනුනේ අවසන් මහා තරගය අවසානයේ තරගාවලියේ වීරයා ලෙසින් සම්මානය දිනූ පසු දසුන් කී කතාවයි. එහි දී දසුන් පැවසුවේ තමන් තරගාවලියේ වීරයා වෙමින් දිනූ ලක්ෂ දෙකක මුදල කළුබෝවිල රෝහලේ ස්ථාපිත කරනු ලබන කෘත්‍රීම ශ්වසන ලබා දීමේ ඒකකයේ (Ventilator unit) වැඩ කටයුතු වෙනුවෙන් ලබා දෙන බවයි. 

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ තමන්ගේ ජයග්‍රාහී කණ්ඩායමේ ද දායකත්වය ඒ වෙනුවෙන් ලැබෙන බවයි. 

Video – “තරුණ ක්‍රීඩකයින් දක්වපු දස්කම් ගැන ගොඩාක් සතුටුයි” – Dasun Shanaka

කෙසේ වෙතත් මෙම තරගාවලියේ පිතිකරු දක්ෂතා අතර දෙවැනි තැනට SLC Greens කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පත්වීම කැපී පෙනුනා. තරගාවලියේ පළමු තරග තුනේ දී පිට පිට අර්ධ ශතක තුනක් වාර්තා කරගත් කමිඳු, තරගාවලිය අවසන් වන විට තරගයක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 96.5ක් බවට පත් කරගෙන සිටියා. 

එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය පළපුරුදු ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ට හිමි වූ අතර ඊට පසුව යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංක ලැයිස්තු ගත වුනා. 

හොඳටම Bat කළ පස්දෙනා 

Player Mat Inns No Runs HS 50s 4s 6s
දසුන් ශානක  6 6 2 258 84 2 24 14
කමිඳු මෙන්ඩිස් 4 3 1 193 74 3 13 8
දිනේෂ් චන්දිමාල්  6 6 1 183 59 2 17 2
පැතුම් නිස්සංක  6 5 1 167 76* 1 19 3
සධීර සමරවික්‍රම 6 6 2 155 58 1 12 5

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

දක්ෂතා දැක් වූ පන්දු යවන්නෝ 

තරගාවලියේ දක්ෂතා දැක් වූ පන්දු යවන්නන් අතුරින් යොවුන් ක්‍රීඩක හිමේෂ් රාමනායක කැපී පෙනුනා. අනුශූරතාව දිනා ගත් SLC Reds කණ්ඩායම නියෝජනය කළ ඔහු, තරගාවලියේ තරග 4කට පමණක් සහභාගී වෙමින් කඩුලු 7ක් දවා ගත්තා. ඔහු තරගාවලියේ ප්‍රතිවාදීන්ට එරෙහිව වාර්තා කළ ඉහළම දක්ෂතාව දැක්වීමද කැපී පෙනුනා. 

හිමේෂ් රාමනායක මෙසේ දැක්වූ දස්කම වඩාත් වර්ණවත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නෙකු වන නුවන් ප්‍රදීප්ට වඩා දක්ෂතා දැක්වීම නිසා ය. 

මේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානය යොවුන් ක්‍රීඩක පුලින තරංගට හිමි වූ අතර සීක්කුගේ ප්‍රසන්නට සිව්වැනි ස්ථානය හිමි වුනා. මෙම ලැයිස්තුවේ පළමු ස්ථාන හතර හිමි වූ ක්‍රීඩකයන් සිව්දෙනාම කඩුලු 7 බැගින් දවා ගැනීමට සමත් වීම තවත් විශේෂත්වයක්. 

ඔවුන්ට අමතරව අශේන් ඩැනියෙන් පස්වැනි තැනට පත් වුනා. 

හොඳටම Bowl කළ පස් දෙනා

Player Mat Inns Overs Runs Wkts Best
හිමේෂ් රාමනායක  4 4 11.0 90 7 4/31
නුවන් ප්‍රදීප් 5 5 17.1 123 7 2/17
පුලින තරංග  6 5 18.0 134 7 3/22
සීක්කුගේ ප්‍රසන්න 6 6 22.0 141 7 2/09
අශේන් ඩැනියෙල් 5 4 13.0 93 5 2/18

යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා 

යොවුන් පිතිකරුවන්ගේ දක්ෂතා ලැයිස්තු ගත කිරීමේ දී ඉහළින් ම කියැවෙන්නේ පැතුම් නිස්සංකගේ නමයි. ඔහු පිතිකරුවෙකු ලෙසින් තරග 6ක දී ඉනිම් 5කට මුහුණ දෙමින් ලකුණු 167ක් රැස් කරගනිමින් දක්ෂතා දැක්වූ අතර එයට එක් අර්ධ ශතකයක් ඇතුළත් වුනා. ඊට අමතරව සධීර සමරවික්‍රම තරග 6ක දී ලකුණු 155, අවිශ්ක ප්‍රනාන්දු තරග 6ක දී ලකුණු 154, ධනංජය ලක්ෂාන් තරග 6ක දී ලකුණු 136, ඕෂධ ප්‍රනාන්දු තරග 6ක දී ලකුණු 131ක් වාර්තා කරගනිමින් මේ ලැයිස්තුව ප්‍රබල කළා. 

ඉන්පසුව එම ලැයිස්තුවේ තැනක් හිමි වෙන්නේ චරිත් අසලංකට. ඔහු අර්ධ ශතක දෙකක් සමඟ තරග 4කට සහභාගී වෙමින් ලකුණු 120ක් රැස් කරගත්තා. ඉන් අනතුරුව අශේන් බණ්ඩාර, මිනෝද් භානුක සහ නුවනිඳු ප්‍රනාන්දු වැන්නෝ ද සිටියා.  

යොවුන් පන්දු යවන්නන් අතුරින් ඉහත ලැයිස්තුවට අමතරව ඉහළින්ම කියැවෙන්නේ අශේන් ඩැනියෙල්ගේ නමයි. ඔහු තරග 5ක ඉනිම් 4ක දී ලකුණු 93කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමතරව චාමික කරුණාරත්න (කඩුලු 5), අකිල ධනංජය (කඩුලු 5) ලැයිස්තු ගත වන අතර ඔවුන්ට පසුව මහීෂ් තීක්ෂණ ලැයිස්තු ගත වෙනවා. ඔහු තරග 5ක ඉනිම් 4ක දී ලකුණු 90කට කඩුලු 4ක් දවා ගන්නවා. ඔහු මේ වෙනුවෙන් යවනු ලබන්නේ පන්දුවාර 14ක් පමණයි. 

මේ ආකාරයේ දක්ෂතාවලින් තරගාවලිය වර්ණවත් වෙද්දී ඒ වර්ණවත් බව විද්‍යුත් තිර මගින් මෙරට සහ විදෙස් ක්‍රිකට් ලෝලීන්ට සජීවව සම්බන්ධ කිරීමට දායකත්වය දැක්වූයේ ThePapare.com වෙබ් අඩවිය බල ගන්වන Dialog Axiata PLC සමාගමයි. තරගාවලිය සංවිධානය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද අපේක්ෂා පෙර දැරිව සංවිධානය වූ මෙම තරගාවලියේ දක්ෂතා හෙට දිනයේ මව්බිමේ ජයග්‍රහණය අපේක්ෂා කරන සැමගේ ද අපේක්ෂාවයි. 

ඒ අනුව හෙට දිනයේ දී එළිය වෙන මෙරට ක්‍රිකට් වංශ කතාවේ තවත් සුවිශේෂි කඩඉම් ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<