දකුණු අප්‍රිකාවේ සහය පුහුණුකරු තම ධුරයට සමුදෙයි

698

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කළ Enoch Nkwe එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනවා. මේ පිළිබඳව Cricbuzz වෙබ් අඩවිය ද වාර්තා කර තිබුනා. 

පසුගිය 2019 වසරේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු ආරම්භ කරන Enoch Nkwe, වසර දෙකකට අධික කාලයක් එහි කටයුතු කළා. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් භාරදෙමින් Enoch පවසා ඇත්තේ තම පෞද්ගලික හේතූන් මත සහ වෘත්තීමය අභිවෘද්ධිය අරමුණු කරගෙන තමන් මෙම තීරණය ගත් බවයි. 2019 වසරේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟින් එක්වීමෙන් අනතුරුව Enoch දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ලෙසද කටයුතු කරනු ලැබුවා. 

Enoch Nkwe සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුනා. 

“ක්‍රිකට් ආයතනය විදිහට අපි මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. ඉන් අනතුරුව අපි Enoch Nkwe ඉවත්වීම පිළිබඳව සහ එලෙස ඉවත්වීම නිසා ඇති වන ගැටලු පිළිබඳව වගේම ඔහුගේ ඉවත්වීමට හේතු වූ කරුණු පිළිබඳවත් සාකච්ඡා කරන්න සූදානම්. ඉන් අනතුරුව මාධ්‍ය වෙත නිල වශයෙන් ඒ පිළිබඳව දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා.” යයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පවසා සිටියා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

“Enoch වගේ කෙනෙක්ගේ සේවය මේ වෙලාවේ අහිමි වීම කණගාටුදායක කරුණක්. ඒත් අපි ඔහුගේ තීරණයට ගරු කරනවා. ඔහු මේ තීරණය ගන්න හේතු වුන කරුණු ගැන අපිට අවබෝධයක් තියෙනවා. කෙසේවෙතත් ඔහු දකුණු අප්‍රිකානු ක්‍රිකට් වලින් මුළුමණින්ම ඉවත්නොවී ඉන්න එක ගැන අපි සතුටු වෙනවා. අපි හිතනවා ඔහු නැවතත් ඔහු වගේම අපිත් ආදරය කරන දකුණු අප්‍රිකානු ක්‍රිකට් එක්ක කටයුතු කරන්න ඒවි කියලා. Enoch Nkwe කියන්නේ තරුණ ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට ආදර්ශයක් දෙන්න පුළුවන් කෙනෙක්. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කමිටු ප්‍රධානී Lawson Naidoo පවසා සිටියා. 

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මාසයේ දී මෙරට සංචාරයක් සඳහා එක්වීමට නියමිතයි. ඉන් අනතුරුව ඔවුන් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ද සහභාගී වෙනවා. Enoch Nkwe ගෙන් හිස්වූ සහය පුහුණුකරු ධුරය සඳහා වෙනත් අයෙක් පත්කිරීමේ වගකීම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී Pholetsi Moseki හට හිමිව තිබෙනවා. එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර එම ධුරය සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කරගැනීමට නියමිතයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලිය සඳහා එක්දින තරග 3ක් සහ පන්දුවාර විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වන අතර තරගාවලිය සැප්තැම්බර් මස 02 වනදා සිට 14 වනදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

Cricbuzz වෙබ් අඩවිය ඇසුරිනි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<