නව ක්‍රීඩා නීති රෙගුලාසිවලට අනුව ඇමැති හැන්දෙන් බෙදූ කාලය අවසන්

156

මෙරට ක්‍රියාත්මක කරන වත්මන් ක්‍රීඩා නීතිය යටතේ ක්‍රීඩා පරිපාලන ආයතනයක් සඳහා පත්වන අදාළ සභාපතිවරයාගේ හෝ ලේකම්වරයාගේ නිල කාලය දීර්ඝ කිරීමටත් ක්‍රීඩාවේ නොයෙදුණු පුද්ගලයකුට එවන් තනතුරක් සඳහා නිලවරණයකට ඉදිරිපත් වීමට අනුමැතිය ලබාදීමටත් ක්‍රීඩා අමාත්‍යවරයාට තිබූ බලතල ක්‍රීඩා පනතේ යෝජිත නව සංශෝධනයන්ට අනුව අහිමි කර ඇති බවට “මව්බිම”ට වාර්තා වේ.

එනම් ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ සහභාගිත්වයෙන් යුත් ක්‍රීඩා පනතේ නීති රෙගුලාසි සංශෝධනය කිරීම භාර කමිටුව විසින් සකස් කරන ලද නව කෙටුම්පතෙහි එකී සංශෝධනය ඇතුළත් කර ඇති බව දැනගන්නට ඇති අතර මෙකී නව කෙටුම්පත ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ජාතික ඔලිම්පික් කමිටුව හරහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) වෙත යවා ඇතැයි පැවැසේ. ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ගයන්ට අනුව නව නීති රෙගුලාසි ඇතුළත් කෙටුම්පත මීට සති දෙකකට පමණ පෙර අයි.ඕ.සී. වෙත යවා ඇති අතර කෙසේ වෙතත් ජාතික ක්‍රීඩා කණ්ඩායමක් අදාළ තේරීම් කමිටු මගින් තෝරා ගැනීමෙන් පසුව ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතු යැයි පවතින නීතිය තවදුරටත් නව කෙටුම්පතටද ඇතුළත් කර ඇත.

තවද මෙරට ක්‍රීඩා පරිපාලන ආයතනවල ඉහළ තනතුරු දරන්නන්ගේ නිල කාලයද වෙනස් කළ යුතු බවට නව කෙටුම්පතෙහි යෝජනාවන්ට ඇතුළත් කර ඇතැයි පැවැසේ. ඒ අනුව තෝරා පත්කර ගන්නා ලද ඒකී ඉහළ නිලධාරීන්ගේ නිල කාලය අදාළ ජාත්‍යන්තර සංගම් විසින් ක්‍රියාත්මක කරන නිල කාලයන්ට අනුරූපව වෙනස් කිරීමටද යෝජනා වී ඇත. උදාහරණයක් ලෙස සඳහන් කළහොත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලන සභාපතිවරයාගේ නිල කාලය වසර 4ක් නම් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපතිවරයාගේ නිල කාලයද වසර 4කි. එසේම මින් ඉදිරියේදී මෙරට ක්‍රීඩා සංගම් හෝ සම්මේලන වැනි පරිපාලන ආයතන නිලධාරීන් අතර ප්‍රශ්න මතුවුවහොත් ඒවා සමථයකට පත්කිරීම සඳහා බේරුම්කාර මණ්ඩලයක් පත්කිරීමටද ශ්‍රී ලංකාව පැත්තෙන් යෝජනා වී ඇත.

මෙකී බේරුම්කාර මණ්ඩලය සඳහා ජාතික ඔලිම්පික් කමිටුවෙන් නියෝජිතයන් තිදෙනකු හා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දෙදෙනකු වශයෙන් පත්කෙරෙන අතර ඔවුන්ගේ නිල කාලය වසර තුනකට සීමා කිරීමටද නව කෙටුම්පත මඟින් යෝජනා වී ඇතැයි දැනගන්නට ඇත. මෙරට පවතින ක්‍රීඩා නීතිය සංශෝධනය කිරීමට අදාළව කෙටුම්පත් කර ඇති නව රෙගුලාසි පිළිබඳව අවසාන තීරණයකට එළැඹීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් හා අයි.ඕ.සී. බලධාරීන් අතර විශේෂ හමුවක් නුදුරු දිනයකදී පැවැත්වීමට නියමිතය. ඉන් පසුව දෙපාර්ශ්වය එකඟ වී සකස් කෙරෙන අවසන් කෙටුම්පත පනතක් ලෙස නීතිගත කොට එළිදැක්වීම සඳහා තවත් මාස 3ක පමණ කාලයක් ගතවනු ඇතැයිද ක්‍රීඩා අමාත්‍යාංශ ජේ‍යෂ්ඨ නිලධාරියකු “මව්බිම”ට පැවැසීය.