19න් පහළ ජාතික පුහුණු සංචිතය නම් කෙරේ!

19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය 2022

3385

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය, වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය ඇතුළු තරග මාලාවන් කිහිපයක් ඉලක්ක කරගනිමින් ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් සැදුම්ලත් ජාතික පුහුණු සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා ආයතනය කටයුතු කොට තිබෙනවා. 

අද (25) දිනයේ දී මේ සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන්කොට සිටියේ කුසලතා හඳුනා ගැනීමේ සහ ඇගයීමේ වැඩසටහනකින් අනතුරුව මෙම ක්‍රීඩකයින් 26 දෙනා තෝරා ගැනීමේ භාරධූර කර්තව්‍යය සාර්ථකව අවසන් කිරීමට ජාතික කනිෂ්ඨ තේරීම් කමිටු නිලධාරීන්ගේ දායකත්වය මත හැකි වූ බවයි. 

පාසල් ක්‍රිකට් සංගමය සහ පළාත් ක්‍රිකට් සංගම් සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දියත් කළ මෙම ක්‍රීඩා කෞෂල්‍යයන් පිරිපුන් යොවුන් ක්‍රීඩකයින් සොයා යාමේ දීපව්‍යාප්ත වැඩසටහන අදියර කිහිපයකින් සමන්විත වූ අතර අවසන් පුහුණු සංචිතය නම් කිරීමට පෙරාතුව  ක්‍රීඩකයින් 75 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් නේවාසික පුහුණු කඳවුරක් ද සංවිධානය කිරීමට කටයුතු සම්පාදනයකොට තිබුණි.

එහි දී ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණයින් රැසකගේ සම්පත් දායකත්වයෙන් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ නිපුණතාවන් ඔපමට්ටම් කරගන්නා ආකාරය, ක්‍රීඩාවේ අධ්‍යාපනික පැතිකඩ සහ ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යාමේ වැදගත්කම වැනි කාලීන මාතෘකා රැසක් ඔස්සේ අංග සම්පූර්ණ දැනුවත් කිරීමේ වැඩසටහනක් මාලාවක් ක්‍රියාත්මක කෙරිණි.

තවත් ක්‍රිකට් පුවත්:

මීට අමතරව සහභාගී වූ සියලුම ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් Super Provinces තරගාවලියේ ආකෘතියට සමාන අයුරින් දඹුල්ල, ගාල්ල, මහනුවර සහ කොළඹ(උතුර සහ දකුණ) යනුවෙන් කණ්ඩායම් පහකට  වර්ගීකරණය කරමින් විස්සයි විස්ස සහ එක්දින පුහුණු තරග කිහිපයකට මුහුණු දුන් අතර එහි දී තම හැකියා දක්ෂතා මැනවින් විදහා දැක්වූ ක්‍රීඩකයින් හට අවසන් පුහුණු සංචිතයෙහි දොරටු විවෘත කර ගැනීමේ අවකාශය උදා විය.

මීට අමතරව ජාතික කණ්ඩායම් තේරීම් කමිටු භාර නිලධාරීන් මෙම සිව්දින නේවාසික පුහුණු වැඩසටහනේ ආරම්භයේ සිට අවසානය දක්වා එක් එක් ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා වෙන වෙනම අධ්‍යයනයට සහ ඇගයීමට පාත්‍ර කරමින් වඩාත් සුදුසුම ක්‍රීඩකයින් 26 දෙනා තෝරාපත් කර ගැනීමේ කර්ත්‍යවය සඳහා ඔවුන්ගේ සක්‍රීය දායකත්වය ලබා දුන් බව ද SLC ආයතනය විසින් නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

තවද හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයෙකු මෙන්ම වත්මන් Mumbai Indians කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තම රාජකාරිය ඉටු කරන මහේල ජයවර්ධන මහතා ද එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට 19න් පහළ ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කිරීමට එකඟතාව පළකොට තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔහු සතු හසළ දැනුම් සම්භාරය නව පරපුරේ ක්‍රීඩකයින් සමඟ බෙදාහදා ගැනීමට ඉතාමත් හොඳ මාවතක් නිර්මාණය කරදෙමිනි. 

සංචිතය: 

                              නම           පාසල පළාත
1 සදේශ් ජයවර්ධන  සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
2 අභිෂේක් ලියනාරච්චි  ඩී.එස්. සේනානායක විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
3 රයන් ප්‍රනාන්දු සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස බස්නාහිර පළාත
4 සදීෂ රාජපක්ෂ රාජකීය විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
5 ශෙවෝන් ඩැනියෙල් සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
6 පවන් සන්දේශ් දේවපතිරාජ විද්‍යාලය, ගාල්ල දකුණු පළාත
7 හරිඳු ජයසේකර සාන්ත තෝමස් විද්‍යාලය, මාතර දකුණු පළාත
8 ජීවක සශීන් දේවපතිරාජ විද්‍යාලය, ගාල්ල දකුණු පළාත
9 පවන් පතිරාජ ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර මධ්‍යම පළාත
10 මතීෂ වීරසිංහ මලියදේව විද්‍යාලය, කුරුණෑගල  වයඹ පළාත
11 විනුජ රාම්පෝල් නාලන්ද විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
12 ළහිරු දෙවටගේ සාන්ත පීතර විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
13 මල්ෂ තරුපති මාදම්පගම, අම්බලන්ගොඩ  දකුණු පළාත
14 දුනිත් වෙල්ලාලගේ සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
15 ට්‍රවීන් මැතිව්ස් සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට  මධ්‍යම පළාත
16 සසංක නිර්මාල් දේවපතිරාජ විද්‍යාලය, ගාල්ල දකුණු පළාත
17 යසිරු රුද්‍රිගෝ සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස බස්නාහිර පළාත
18 දනාල් හේමානන්ද  සාන්ත පීතර විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
19 මතීෂ පතිරණ ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර මධ්‍යම පළාත
20 විභාවිත් ඇහැළේපොළ  ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර මධ්‍යම පළාත
21 රවීන් ද සිල්වා නාලන්ද විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
22 චමිදු වික්‍රමසිංහ සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට  මධ්‍යම පළාත
23 භවන්ත ජයසිංහ තර්සටන් විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
24 වනුජ සහන් සාන්ත පීතර විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
25 ළහිරු අබේසිංහ සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට  මධ්‍යම පළාත
26 මලීෂ සිල්වා සාන්ත සිල්වෙස්තර විද්‍යාලය මධ්‍යම පළාත

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<