ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට IPL යන්න අවසර දෙයි!

321
(CricAddictor)

එළඹෙන මාසයේ දී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි කොටසට සහභාගී වීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය අවසර ලබා දී තිබෙනවා. 

IPL තරගාවලියට දින කිහිපයකට පසුව විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වීම විශේෂත්වයක්. IPL හා විස්සයි විස්ස ලෝක කුසලානය යන තරගාවලි දෙකම පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සිය ක්‍රීඩකයින් IPL තරගාවලියට සහභාගි වීමට තමන් විරුද්ධ නොවන බවට සහතිකයක් ක්‍රීඩකයින් වෙත නිකුත් කර තිබුණා. මේ අතරම ලෝක කුසලානයට පෙර ඕස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩකයින් අතර COVID-19 වයිරසය පැතිර යාම නිසා 2021 IPL තරගාවලිය පසුගිය මැයි මාසයේ දී නවතා දමන්නට එහි සංවිධායකයින්ට සිදු වුනා. එම සිදුවීම නිසා ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, විකාශකයින් හා සහය කාර්ය මණ්ඩලයේ 40 දෙනෙකු පමණ මාලදිවයිනේ දී නිරෝධායනයේ  වුනා. පසුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සූදානම් කළ ගුවන් යානයකින් ඔවුන් නැවත සිය මව්රට වෙත ගොස් තිබුණා.

IPL තරගාවලියේ තවත් තරග 36ක් ඉතිරිව තිබෙන අතර එම තරග සියල්ල සැප්තැම්බර් 19 – ඔක්තෝබර් 15 කාලරාමුවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. IPL තරගාවලිය අවසන් වන්නේ ලෝක කුසලානයට දින දෙකකට පෙර වීම විශේෂත්වයක්.

තවත් ක්‍රිකට් පුවත්:

මේ අතර ඇෆ්ගනිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට තිබුණු තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ද කල් දමන්නට තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර තිබෙනවා.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ මූලික වටයේ තරග ඕමානයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙන බැවින් IPL තරග සියල්ල එක්සත් අරාබි එමීර් හිදී පැවැත්වීමට ඉඩකඩ හිමිව තිබෙනවා. මූලික වටයේ තරගවලින් අනතුරුව ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටය ඔක්තෝබර් 23 වැනිදා එක්සත් අරාබි එමීර් හිදී ආරම්භ වනු ඇත.

මැයි මාසයේ දී IPL තරගාවලියේ මුල් කොටසට සහභාගී වුණු David Warner, Glenn Maxwell, Steve Smith, Marcus Stoinis, Jhye Richardson, Kane Richardson හා Daniel Sams නැවතත් IPL තරගාවලිය හා එක්වීමට නියමිතයි.

කෙසේ වෙතත් සිය පළමු දරු උපත අපේක්ෂා කරන Pat Cummins IPL තරගාවලියේ ඉතිරි කොටස සඳහා එක්වන්නේ නැහැ. IPL තරගාවලිය ක්‍රීඩා නොකළත් Cummins ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි.

IPL තරගාවලියට එක්වන අනෙක් ක්‍රීඩකයින් වන්නේ Josh Hazlewood, Riley Meredith, Dan Christian, Moises Henriques, Mitch Marsh, Jason Behrendorff, Adam Zampa, Andrew Tye, Nathan Coulter-Nile, Chris Lynn, Ben Cutting හා Josh Philippe.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<