ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් Dravidට පැසසුම්

ශ්‍රී ලංකා ඉන්දීය සීමිත පන්දුවාර තරගාවලිය 2021

1443

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා ඉන්දීය සීමිත පන්දුවාර තරගාවලිය අතරතුර ඉන්දීය පුහුණුකරු Rahul Dravid විසින් දැක්වූ සහයෝගය සහ ඔහුගේ ධනාත්මක ආකල්ප පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ස්තූතිය පළකර තිබෙනවා. 

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියේ තරගාවලිය අවලංගු කිරීමට අවස්ථාවක් තිබුණ ද, Rahul Dravid ඒ පිළිබඳව වගකීම ගනිමින් තරගාවලිය පවත්වා ගෙන යාම සඳහා කැපවීමෙන් කටයුතු කළ බවයි.

“ඔහුට ඕනේ නම් ලේසියෙන්ම කණ්ඩායම එක්ක ඉන්දියාවට යන්න තිබුණා” Cricbuzz වෙබ් අඩවිය සමඟින් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසා සිටියා.

ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක Krunal Pandya හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව ඔහුගේ සමීප ආශ්‍රිතයන් රැසක් නිරෝධායනයට ලක් කිරීමට සිදු වුනා. එහි දී ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් කීපදෙනෙකු කණ්ඩායමෙන් ඉවත්ව සිටි අතර තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා මත පල කළා. 

“Krunal Pandya සම්බන්ධ සිදුවීමේ දී මම දැකපු විශේෂ දෙයක් තමයි ඒ වෙලාවේ Rahul Dravid සහ සෙසු කාර්‍යමණ්ඩලය දැක්වූ සහයෝගය. ඔහුට ඕනේ නම් කණ්ඩායම එක්ක ඉන්දියාවට යන්න ලොකු අවස්ථාවක් තිබුණා. ඒත් ඔහු මේ තත්ත්වය ගැන ලොකු අවබෝධයකින් කටයුතු කළා. ක්‍රිකට් ආයතනය විදිහට ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි ගත්ත තීරණ සහ ක්‍රියාමාර්ග ඔහු අගය කළා. අපි අපේ උපරිමය කරනවා කියලා ඔහු දැනගෙන හිටියා.” 

Krunal Pandya සහ ඔහුගේ සමීප ආශ්‍රිතයන් ලෙස ක්‍රීඩකයන් 9 දෙනෙකු නිරෝධායනයට යොමු කළ අතර ඉන් අනතුරුව ඉන්දීය කණ්ඩායමට ඉතිරිව තිබුණේ ක්‍රීඩකයන් 11 දෙනෙකු පමණයි.

“අපිට ක්‍රීඩකයන් 11 දෙනෙක් ඉන්නවා. අපි ඔවුන්ගෙන් තරගාවලිය ක්‍රීඩා කරනවා. මේ සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ ක්‍රීඩකයන් 11 දෙනා අපිට හොඳ කණ්ඩායමක් හදාගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මුලින්ම ඔවුන් තෝරාගත්තේ. මේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ආකාරය මම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඔව්,කණ්ඩායමේ සමතුලිතතාවයට යම් බලපෑමක් වෙන්න පුළුවන්. ඒත් අපි ක්‍රීඩා කරනවා”, දෙවැනි විස්සයි විස්ස තරගයට පෙර අදහස් දක්වමින් Rahul Dravid පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

තවදුරටත් අදහස් දක්වමින් Rahul David පවසා සිටියේ යම් යම් නිදහසට කරුණු ඉදිරිපත් කරමින් තරගාවලිය අවලංගු නොකර හැකි ලෙස තමන්ගේ වගකීම ඉටු කිරීම ඔහුගේ බලාපොරොත්තුව බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා ඉන්දීය තරගාවලියේ සැලසුම් කළ තරග 6 ම පැවැත්වීමට හැකි වුනා. මෙම තරගාවලිය පැවැත්වීම මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ශ්‍රී ලංකා රුපියල් කෝටි 280ක ලාභයක් ලැබී ඇති බව පසුගිය දා තහවුරු කළා. 

“මේ තරගාවලිය අපිට ඉතාමත් වැදගත් තරගාවලියක් වුනා. අපි මේ වගේ තරගාවලියක් පවත්වන්න ලොකු කාලයක් බලාගෙන හිටියා. අපි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්ට ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන් Jay Shah සහ Saurav Gangulyට අපේ ආරාධනාව පිළිඅරන් විස්සයි විස්ස තරගාවලියක් මේ සංචාරයට එකතු කිරීමට එකඟ වීම ගැන. අපි මුලින් සැලසුම් කරලා තිබුණේ එක්දින තරගාවලියක් විතරයි. මේ විස්සයි විස්ස තරගාවලිය නිසා අපිට ඇමරිකානු ඩොලර් මිලියන 14.5ක ආදායමක් හිමි වුනා. ඒක අපේ මූල්‍යමය පැත්තට ඉතාමත් වටිනා දෙයක්”, මොහාන් ද සිල්වා මහතා පවසා සිටියා.

“මේ තරගාවලිය අතරතුර සිදු වුන සිදුවීම් ගැන අපි ගොඩක් පීඩනයෙන් හිටියේ. ගොඩක් පාර්ශ්ව මේ ගැන ලොකු අවධානයකින් හිටියා. ඉන්දීය ක්‍රිකට් ආයතනය, ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පරිපාලනය. අපි මේ හැමෝම එක්ක සමීපව කටයුතු කළා. ඔවුන්ට අපි හැමවෙලාවකම මේ තත්ත්වය ගැන තොරතුරු ලබා දුන්නා”, මොහාන් ද සිල්වා මහතා පවසා සිටියා.

ශ්‍රී ලංකා ඉන්දීය එක්දින තරගාවලිය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළ අතර විස්සයි විස්ස තරගාවලියේ ජයග්‍රහණය හිමිවුනේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

Cricbuzz ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<