දසුන්, කමිඳු සහ පුලින පළමු දිනයේ ම වැඩ අල්ලයි

Dialog-SLC ආරාධිත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය 2021

503

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Dialog-SLC ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු දිනයේ තරග දෙකේ දී දසුන් ශානක සහ කමිඳු මෙන්ඩිස් පිතිකරුවන් ලෙසින් වැඩි දක්ෂතා දක්වද්දී පුලින තරංග දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. 

මෙම තරග ද්විත්වය අද (13) දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ SLC Greys කණ්ඩායමට ලකුණක තියුණු ජයග්‍රහණයක් සහ SLC Blues කණ්ඩායමට ලකුණු 56ක ජයග්‍රහණයක් අත්කර දෙමින්.  

SLC Greys සහ SLC Green 

තරගාවලිය ආරම්භ කරමින් පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගත් SLC Greys කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 167ක් රැස් කරගත්තා. ඊට පිළිතුරු ලෙසින් SLC Green කණ්ඩායමට තම පන්දු වාර 20 අවසානයේ දී වාර්තා කරගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි. 

මෙම තරගයේ දී SLC Greys  කණ්ඩායමේ නායක දසුන් ශානක පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 84ක් රැස් කරගැනීමට සමත් වීම කැපී පෙනුනා. දසුන් සහ පුලින තරංග අතර හයවැනි කඩුල්ලට එක්වූ ලකුණු 56ක සබඳතාව ඉනිමේ හොඳම සබඳතාව වුනා. පුලින ඉනිම අවසන් වන විට පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් වාර්තා කරගෙන සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී ලහිරු කුමාර, ඉෂාන් ජයරත්න, අශාන් ප්‍රියංජන්, සුමින්ද ලක්ෂාන් සහ ලක්ෂාන් සඳකැන් කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිමේ හොඳම පිතිකරු වූයේ 22 හැවිරිදි වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස්. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 74ක් රැස් කරගත්තා. ඊට අමතරව පැතුම් නිස්සංක පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 45ක් රැස් කරගැනීමට සමත් වුනා. ඔවුන් දෙදෙනා අතර තුන්වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 102ක්. මේ වෙනුවෙන් ඔවුන් වැය කළේ පන්දු 77ක් පමණක් වීම කැපි පෙනුනා. 

SLC Green ක්‍රීඩකයෝ ලකුණක් පිටුපස සිටිමින් තරගය පරාජය වෙද්දී ඉෂාන් ජයරත්න පන්දු 10කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 20ක් රැස් කරගෙන සිටියා. ඉන් ලකුණු 10ක්ම ඔහු වාර්තා කරගත්තේ ඉනිමේ ක්‍රියාත්මක වූ නුවන් ප්‍රදීප් යැවූ අවසන් පන්දු වාරයේ පන්දු 4කට මුහුණ දෙමින්. SLC Green ක්‍රීඩකයන්ට එම තරගයෙන් ජයග්‍රහණය කිරීමට නම් එම පන්දු වාරයේ දී ලකුණු 16ක් වාර්තා කරගත යුතුව තිබුනා. නමුත් ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 15ක් පමණයි. අනෙක් පසින් පන්දුවට පහර දෙමින් සිටියේ යොවුන් පිතිකරු සම්මු අශාන්. 

කඩුලු දවා ගැනීමේ දී පාදඟ පන්දු යවන පුලින තරංග ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත්තා. ඔහුට අමතරව අශේන් ඩැනියෙල් ලකුණු 23කට කඩුලු 2ක් ද නුවන් ප්‍රදීප් එක් කඩුල්ලක් ද දවා ගත්තා. 

SLC Greys – කඩුලු 7ක් දැවී 167 (20) : මිනෝද් භානුක 21, දසුන් ශානක 84, චතුරංග ද සිල්වා 23, පුලින තරංග නොදැවී 16. 

SLC Green – කඩුලු 6ක් දැවී 166 (20) : පැතුම් නිශ්ශංක 45, කමිඳු මෙන්ඩිස් 74, ඉෂාන් ජයරත්න 20, අශේන් ඩැනියෙල් 2/23, පුලින තරංග 3/22. 

තවත් පුවත් කියවන්න: 

SLC Blues  සහ SLC Reds 

කාසියේ වාසිය දිනාගත් SLC Blues ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 148ක් රැස් කරගත් අතර ඊට පිළිතුරු ලෙසින් SLC Reds කණ්ඩායමට සියලුම දෙනා දැවී වාර්තා කරගත හැකි වූයේ ලකුණු 92ක් පමණයි. දැවැන්ත පරාජයකට මුහුණ දුන් ඔවුන්ට ඉනිම අවසන් කිරීමට තවත් පන්දු 18ක් ඉතිරිව තිබුනා. 

SLC Blues කණ්ඩායම වෙනුවෙන් අංක 4 පිතිකරු ලෙසින් පිටියට පිවිසි අශේන් බණ්ඩාර ප්‍රවේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 25ක දී ලකුණු 45ක් වාර්තා කරගත්තා. ඊට හතරේ පහර 5ක් ද ඇතුළත්. ඔහුට අමතරව සහන් ආරච්චිගේ ද පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් රැස් කරගත්තා. ඔවුන් දෙදෙනා අතර හයවැනි කඩුල්ලට එක්කළ සබඳතාව ලකුණු 49ක්. ඒ සඳහා ඔවුන් වැය කළේ පන්දු 36ක් පමණක් වීම කැපී පෙනුනා. 

කඩුලු දවා ගැනීමේ දී අකිල ධනංජය ලකුණු 27කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතරව සීක්කුගේ ප්‍රසන්න කඩුලු 2ක් ද, අසිත ප්‍රනාන්දු සහ හිමේෂ් රාමනායක කඩුල්ල බැගින් ද දවා ගත්තා. 

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි SLC Reds කණ්ඩායමේ පිතිකරුවන් අතුරින් ඉලක්කම් දෙකේ ලකුණු වාර්තා කළේ ආරම්භක පිතිකරු නිපුන් ධනංජය (14) සහ නායක දිනේෂ් චන්දිමාල් (13) පමණයි. ඊට අමතරව වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණය වූයේ අතිරේක ලකුණු 14යි.  

SLC Reds ඉනිම අඩපණ කිරීමේ දී ප්‍රවීන් ජයවික්‍රම සහ නායක ඇන්ජලෝ පෙරේරා දැක්වූ දක්ෂතා කැපී පෙනුනා. ප්‍රවීන් ජයවික්‍රම තම පන්දුවාර 4 ලකුණු 12කට සීමා කරමින් කඩුලු 2ක් දවා ගත් අතර ඇන්ජලෝ පෙරේරා පන්දුවාර දෙකක් පමණක් යවමින් ලකුණු 6කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතරව සුරංග ලක්මාල්, ඩිල්ශාන් මධුශංක, ධනංජය ලක්ෂාන් සහ ශිරාන් ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා. 

SLC Blues – කඩුලු 9ක් දැවී 148 (20) : නිශාන් මධුශ්ක 20, සහන් ආරච්චිගේ 36, අශේන් බණ්ඩාර 45, සීක්කුගේ ප්‍රසන්න 2/34, අකිල ධනංජය 3/27. 

SLC Reds – සියලුම දෙනා දැවී 92 (17) : නිපුන් ධනංජය 14, දිනේෂ් චනිද්මාල් 13, ප්‍රවීන්ජයවික්‍රම 2/12, ඇන්ජලෝ පෙරේරා 2/06. 

තරගාවලිය දෙවැනි දිනයට ක්‍රියාත්මක වෙමින්, හෙට (14) SLC Reds සහ SLC Greys අතර තරගය දිවා තරගය ලෙසත් SLC Green සහ SLC Blues අතර තරගය රාත්‍රී තරගය ලෙසත් පැවැත්වීමට නියමිතයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<