පැතුම් සහ කමිඳුගේ දැවැන්ත ලකුණු සබඳතාව අපතේ යයි

Dialog-SLC ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

533

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Dialog-SLC ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවති තරගයක දී SLC Greens කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන් වන පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් පන්දු 46කින් ලකුණු 95ක් වාර්තා කරමින් තරගාවලියට නව ජීවයක් එක් කළා. නමුත් ඔවුන්ට එම තරගය ජයග්‍රහණය කිරීමට ඔවුන්ගේම පරපුරේ අශේන් බණ්ඩාර ඉඩ තැබුවේ නැහැ.  

අද තරගවල දී පැතුම් සහ කමිඳු අර්ධ ශතක ඉනිම් ගොඩ නැගූ අතර කමිඳු මේ වාර්තා කළේ මේ තරගාවලියේ දෙවැනි අර්ධ ශතකයයි. මේ අතර ඕෂධ ප්‍රනාන්දු ද තරගාවලියේ අර්ධ ශතකලාභීන්ගේ ලැයිස්තුවට අද එක් වුනා. 

දිනයේ පළමුවෙන් පැවති SLC Greys සහ SLC Reds අතර තරගයෙන් ලකුණු 35ක ජයග්‍රහණයක් හිමි කරගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් SLC Greys ක්‍රීඩකයෝ සමත් වූ අතර රාත්‍රියේ පැවති SLC Greens සහ SLC Blues අතර තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කරගැනීමට ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුත් SLC Blues කණ්ඩායම සමත් වුනා. 

මෙම තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 

SLC Greys සහ SLC Reds 

කාසියේ වාසිය දිනූ SLC Greys කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසි අතර ඔවුන් තම ඉනිම අවසන් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 154ක් වාර්තා කරමින්. එම ඉනිම වෙනුවෙන් නායක දසුන් ශානක පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 48ක් රැස් කරගත්තා. 

ඉදිරි පෙළ පිතිකරුවෝ අසාර්ථක වෙද්දී දසුන්ට තම කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට වැඩි වගකීමක් දැරීමට සිදුවුනා. ඔහු ලහිරු මධුශංක සමඟ එකතු වෙමින් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 37ක් එක් කළේ පන්දු 25ක් පමණක් වැය කරමින්.  

දසුන්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි පුලින තරංග පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් ද සමඟින් ලකුණු 20ක් වාර්තා කරගත්තා. ලහිරු සහ පුලින අතර අටවැනි කඩුල්ලට සබඳතාව පන්දු 15ක දී ලකුණු 29ක්. ඉනිම අවසන් වන විට ලහිරු පන්දු 16කට මුහුණ දෙමින් එක් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් වාර්තා කරගෙන සිටියා. 

පන්දු යැවීමේ දී සීක්කුගේ ප්‍රසන්න තම පන්දුවාර 4 ලකුණු 9කට සීමා කරමින් කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතරව ප්‍රභාත් ජයසූරිය කඩුලු 2ක් සහ අසිත ප්‍රනාන්දු, අසේල ගුණරත්න, සහ හිමේෂ් රාමනායක එක් කඩුල්ල බැගින් දවා ගත්තා. 

ලකුණු 155ක හඹා යන ඉනිමකට පිවිසි දිනේෂ් චන්දිමාල්ගේ SLC Reds කණ්ඩායමට නැවත වතාවක් අසාර්ථක වීමට සිදුවුනා. ඔවුන් තම ඉනිම අවසන් වන විට රැස් කරගෙන සිටියේ කඩුලු 9ක් දැවී ලකුණු 119ක් පමණයි. මේ ඔවුන් අඛණ්ඩව පරාජය වූ දෙවැනි තරගයයි.  

පරාජිත එම ඉනිමේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූයේ ඕෂධ ප්‍රනාන්දු පමණයි. ඔහු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 52ක් රැස් කරගත්තා. අසේල ගුණරත්න (16) සමඟ සිව්වැනි කඩුල්ලට එක් වූ ඕෂධ ලකුණු 44ක සබඳතාවක් ද එක් කළා. 

SLC Reds ඉනිම පාලනය කිරීමේ දී නුවන් ප්‍රදීප්, අශේන් ඩැනියෙල් සහ ලහිරු මධුශංක කඩුලු 2 බැගින් දවා ගත් අතර චතුරංග ද සිල්වා සහ පුලින තරංග එක් කඩුල්ල බැගින් දවා ගත්තා. 

SLC Greys – කඩුලු 8ක් දැවී 154 (20) : කමිල් මිෂාර 18, දසුන් ශානක 48, පුලින තරංග 20, ප්‍රභාත් ජයසූරිය 2/29, සීක්කුගේ ප්‍රසන්න 2/09.  

SLC Reds – කඩුලු 9ක් දැවී 119 (20) : ඕෂධ ප්‍රනාන්දු 52, නුවන් ප්‍රදීප් 2/24, අශේන් ඩැනියෙල් 2/18, ලහිරු මධුශංක 2/21. 

තවත් පුවත් කියවන්න: 

SLC Greens සහ SLC Blues 

පෙර දිනයේ තරගයේ දී කාසියේ වාසිය මෙන්ම තරගයෙන් ද පරාජය වූ SLC Greens නායක අශාන් ප්‍රියංජන් මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ආරම්භය එතරම් සාර්ථක වූයේ නැහැ. 

පළමු පන්දුවාරයේ අවසන් පන්දුවේ දී මහේල උඩවත්ත ලකුණු නොලබා දැවී යද්දී ලකුණු පුවරුව ලකුණු 1ක් ලෙස සටහන් වුනා. එතැන් සිට ආරම්භක පිතිකරු ලහිරු උදාර සමඟ එක් වූ පැතුම් නිස්සංක, SLC Greens ඉනිම ශක්තිමත් කිරීමට පෙරමුණ ගත්තා. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට එක්වූ සබඳතාව ලකුණු 84ක්. පන්දු 62කින් වාර්තා වූ මේ සබඳතාව බිඳ වැටුනේ ලහිරු උදාරගේ දැවී යෑමත් සමඟින්. ලහිරු උදාර පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 44ක් රැස් කරගත්තා. 

අනතුරුව පිටියට පිවිසියේ පෙර තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කළ කමිඳු මෙන්ඩිස්. පැතුම් සහ කමිඳු අතර සුසංයෝගය ලකුණු 95ක්. ඉනිම අවසන් වෙද්දී ඔවුන් දෙදෙනාම නොදැවී පිටියේ රැඳී සිටි අතර එතෙක් ඔවුන් අතර තෙවැනි කඩුල්ලට වැය කළ පන්දු සංඛ්‍යාව 46ක්. 

පැතුම් නිස්සංක පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 76ක් ද කමිඳු මෙන්ඩිස් පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු53ක් ද වාර්තා කරගෙන සිටියා. 

SLC Greens කණ්ඩායමේ දැවී ගිය කඩුලු දෙකේ හිමිකාරීත්වය දකුණතින් පිටදඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ සතු වුනා. ඉනිමේ ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළ ඔහු තම පන්දුවාර 4 තුළ ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 12ක් පමණයි.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි SLC Blues කණ්ඩායමේ ද ආරම්භය එතරම් සාර්ථක නොවූවත් දෙවැනි  කඩුල්ලේ දී අළු-දූළි ගසා නැගී සිටීමට ඔවුන් සමත් වුනා. ඒ සධීර සමරවික්‍රම සහ ධනංජය ලක්ෂාන් එක්ව ගොඩ නැගූ ලකුණු 75ක සබඳතාව හේතුවෙන්.

නැවතත් ඉනිමේ කඩුලු දෙකක් ලකුණු 13ක් තුළ දැවී ගිය අතර ඉන්පසුව ඉනිම ගොඩ ගත්තේ අශේන් බණ්ඩාර සහ සහන් ආරච්චිගේ විසින්. ඔවුන් දෙදෙනා ඉනිමේ අවසන් පන්දුවාරයට මුහුණ දුන් අතර ඒ වෙද්දී ඔවුන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුනේ ලකුණු 10ක් පමණයි. 

නමුත් ඉෂාන් ජයරත්න විසින් යැවූ පළමු පන්දුවේ දී සහන් ආරච්චිගේ දෙවැනි ලකුණකට දුවන්නට යෑමේ දී අවාසනාවන්ත  ලෙස දැවී යෑමකට ලක් වුනා. ඒ වෙද්දී ඔහු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් රැස් කරගෙන සිටියා. ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ලට එක් වූ ලකුණු සංඛ්‍යාව 71ක්. 

ඉන් අනතුරුව නවක පිතිකරු ලෙසින් ශිරාන් ප්‍රනාන්දු පිටියට පිවිසි අතර ඔහු ලකුණු 3ක් රැස් කරගනිමින් පන්දුවට පහර දීමේ අවස්ථාව අශේන් බණ්ඩාර සතු කළා. ඔහු දැවැන්ත හයේ පහරකින් තම කණ්ඩායමට ජයග්‍රහණය හිමි කර දුන්නේ තවත් පන්දු 3ක් ද ඉතිරිව තිබිය දී. ඉනිම අවසන් වන විට ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 181ක් වූ අතර අශේන් බණ්ඩාර ඒ වෙද්දී පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 36ක් වාර්තා කරගෙන සිටියා.   

පන්දු යැවීමේ දී ඉෂාන් ජයරත්න, සුමින්ද ලක්ෂාන්, ලක්ෂාන් සඳකැන් අතර කඩුල්ල බැගින් බෙදී ගියා. 

SLC Greens – කඩුලු 2ක් දැවී180 (20) : ලහිරු උදාර 44, පැතුම් නිස්සංක නොදැවී 76, කමිඳු මෙන්ඩිස් නොදැවී 53, මහීෂ් තීක්ෂණ 2/12. 

SLC Blues – කඩුලු 5ක් දැවී 181 (19.3) : සදීර සමරවික්‍රම 47, ධනංජය ලක්ෂාන් 27, අශේන් බණ්ඩාර නොදැවී 36, සහන් ආරච්චිගේ 38. 

හෙට (15) තරගාවලියේ විවේක දිනය වන අතර නැවත තරගාවලිය අගෝස්තු 16 වැනිදා තෙවැනි දිනයට පැවැත්වීමට නියමිතයි. එහි දී දිවා තරගය ලෙස SLC Reds සමඟ SLC Greens  තරග වදින අතර රාත්‍රී තරගය ලෙස SLC Greys සමඟ SLC Blues තරග වැදීමට නියමිතයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<