ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ තුන්වන සහ අවසන් අදියර එළඹෙන සති අන්තයේදී පැවැත්වීමට නියමිතයි. මෙම අදියරට ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන අතර තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ 7 පිහිටි ආකර්ශනීය තුරග තරග රග්බි ක්‍රීඩාංගනයේ දීයි. මීට පෙර මෙම තරග මාලාවට අදාලව හොං කොං හීදී සහ දකුණු කොරියාවේදී පැවති පළමු සහ දෙවන අදියර දෙක තුලදීම ශ්‍රී ලංකාව ශූරතාවට එක් අඩියක් පසුපසින් නැවතුනේ හොං කොං කණ්ඩායමට පමණක් දෙවැනි වෙමිනුයි.

පසුගිය ලිපි: ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක්

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මෙවර තරග වදින්නේ B කාණ්ඩය යටතේයි. එම කාණ්ඩයට චීනය, චීන තායිපේ සහ සිංගප්පූරුව ද ඇතුලත් වෙයි. හොං කොං, ජපානය, මැලේසියාව සහ දකුණු කොරියාව තරග වදින්නේ A කාණ්ඩය යටතේයි.

මීට පෙර මෙම තරග මාලාව තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් චීන තායිපේ කණ්ඩායම ලකුණු 43 – 12ක් ලෙසත්, සිංගප්පූරුව ලකුණු 27 – 05 ක් ලෙසත් පහසුවෙන් පරාජය කරන්නට සමත් විය. ඒ අනුව මෙම අදියර තුලදී ද සත්කාරකත්වයේ වාසියද සමගින් එම කණ්ඩායම් දෙක පහසුවෙන් පරාජය කරන්නට ශ්‍රී ලංකාවට හැකිවීමේ වැඩි ඉඩ කඩක් පවතියි. කෙසේ වෙතත් ධනුෂ්ක රංජන්ගේ නායකත්වයෙන් පෙර අදියර දෙකේදී තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, පළමු අදියරේ අවසන් පූර්ව තරගයේදී චීන කණ්ඩායම ලකුණු 19 – 17 ක් ලෙස පරාජය කලේ තියුණු සටනකින් අනතුරුවයි. දෙවන අදියරේ පළමු වටයේ තරගයකදී නව මුහුණුවරකින් මෙවර තරග මාලාවට එක්ව සිටින චීන කණ්ඩායම හමුවේ ලකුණු 26 – 21 ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. නමුත් එම අදියරේ අවසන් පූර්ව තරගයකදී සත්කාරක දකුණු කොරියාව ලකුණු 26 – 10 ක් ලෙස පරාජය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූයේ අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගනිමිනුයි.

පළමු වටයේදී ශ්‍රී ලංකාවට සහභාගී වීමට ඇති තරග තුනෙන් දෙකක ජයග්‍රහණය අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා සෑහෙයි. A කාණ්ඩයෙන් හොං කොං සහ දකුණු කොරියා කණ්ඩායම් අවසන් පූර්ව වටයට පිවිසීමේ වැඩි අවස්තාවක් පවතින්නේ ආසියානු රග්බි දැවැන්තයින් වන ජපානය මෙම තරගාවලියට තම ප්‍රධාන කණ්ඩායම වෙනුවට සංවර්ධන කණ්ඩායමක් ඉදිරිපත් කර තිබීම එතුවෙනුයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු අදියරේ අවසන් තරගයේදී හොං කොං කණ්ඩායම හමුවේ ලකුණු 17 – 22 ක් ලෙස පරාජය වූ අතර දෙවන වටයේ අවසන් තරගයේදී හොං කොං කණ්ඩායම ශ්‍රී ලංකාව පරාජය කලේ ලකුණු 36 – 00 ක් ලෙසයි. මෙම තරග දෙකේදීම ඔවුන් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාශයන් අතර මහත් වෙනසක් දක්නට ලැබුණි. හිටපු එංගලන්ත සත් සාමාජික රග්බි ක්‍රීඩක සහ ශ්‍රී ලංකා රග්බි පුහුණුකරු මැට් ටර්නර් පැවසුවේ ”නිසැකයෙන්ම අපිට ඔවුන් සමග ක්‍රීඩා කිරීමේදී අපේ ක්‍රීඩා විලාශය වෙනස් කරගන්නට සිදු වෙනවා. අපි ඒ වෙනස කරන ආකාරය පිලිබඳ පසුගිය සති දෙක පුරාම පුහුණු වුනා.” යනුවෙනි.

පුහුණුකරු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය ”මම හිතන්නේ අපිට හොං කොං කණ්ඩායම පරාජය කරන්න මීට වඩා හොඳ තැනක් සහ වෙලාවක් නැහැ. අපි ක්‍රීඩා කරන්නේ අපේ ක්‍රීඩා ලෝලීන් ඉදිරියේයි. මේ වසර අපේ ක්‍රීඩකයන්ට හොඳ වසරක් වුනා. දෙපාරක් පරාජය වුනත් තුන්වන අවස්ථාව අපේ වාසිදායක අවස්ථාව වෙන්න පුළුවන්. මම හිතනවා අපේ ක්‍රීඩකයන් ඔවුන්ව පරාජය කරන්න සූදානම් කියලා.”

මෙම තරග මාලාව පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ස්ථානය බවට පත් වුනේ හොං කොං කණ්ඩායම හමුවේ දැක්වූ පසුගාමීත්වයයි. ශ්‍රී ලංකා කණ්ඩායම එම දුර්වලාතාවයෙන් මිදීමට යම් විසඳුමක් සොයා ගත යුතු වන අතර පුහුණුකරු ටර්නර්ට සහ නායක ධනුෂ්ක රංජන්ට අනුව ඔවුන් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සියල්ල සකස් කර තිබේ.

දෙවන අදියරේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව හොං කොං කණ්ඩායම හමුවේ ලකුණු 36 – 00 ක ලජ්ජා සහගත පරාජයකට මුහුණ දුන් අතර ස්වීපර් ක්‍රීඩකයෙක් නොමැතිව වුවත් ඔවුන්ගේ පසුපෙළ ආරක්ෂා කර ගැනීමට හොං කොං ක්‍රීඩකයන් සමත් විය.

පහත සඳහන් රූප සටහනෙන් දැක්වෙන්නේ මෙම තරගයේ ශ්‍රී ලංකාවට හිමිවූ පළමු අවස්ථාවයි. තරගයේ මිනිත්තු 3ක් පමණ ගතවූ තැන ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පන්දුව ලැබුණු අතර එම අවස්ථාවේදීම හොං කොං ස්වීපර් ක්‍රීඩකයා ඔවුන්ගේ ආරක්ෂක පෙළ සමඟ එක්වීමට ඉදිරියට දිව එන්නේ ඔවුන්ගේ ගෝල සීමාව අසල කිසිදු ආරක්ෂාවක් ඉතිරි නොකරමිනි. Asia 7s

මෙම දෙවන ඡායාරූපයේ දැක්වෙන අවස්ථාවේ පන්දුව පවතින්නේ තරින්ද රත්වත්ත සතුවයි. නමුත් ඔමල්ක ගුණරත්න එම අවස්තාවේදී සිටින ස්ථානය රත්වත්ත සිටින ස්ථානයට ලම්බක වීම (කෙලින්) හේතුවෙන් පන්දුව ඔහුට භාර කිරීමට අපහසු වෙයි. මේ අවස්තාවෙදීත් හොං කොං කණ්ඩායමේ ස්වීපර් ක්‍රීඩකයෙක් නොමැතිව සියලු ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ගෝල සීමාව තුල ක්‍රීඩා කිරීමට තරම් නිර්භය ක්‍රීඩා විලාශයක් දක්නට ලැබේ. කෙසේ වෙතත් රත්වත්ත පන්දුව ක්‍රීඩාංගනයෙන් ඉවතට යොමුකරන ලදී. නමුත් ඔහුට ඒ වෙනුවට පන්දුව හොං කොං ගෝල සීමාව වෙත යොමුකරන්නට හැකියාව තිබුණි. නොහොත් ඔමල්ක තවත් මීටර් 2ක් පමණ පසුපසින් සිටයේ නම් වඩාත් ශක්තිමත් බාහු බලයකින් යුතු ඔහු හොං කොං ක්‍රීඩකයා සමඟ කරට කර සටනක (One on One) යෙදීම වඩාත් ඉහල අවස්තාවක් හිමි කර දීමට අවස්තාව තිබුණි. මෙවන් අවස්ථාවලදී අනුරුද්ධ විල්වර ප්‍රතිවාදී ක්‍රීඩකයන් තම ශරීර ශක්තිය යොදාගෙන අභිබවා යන අයුරු මීට පෙර දක්නට ලැබුණි. Asia 7s 1

දෙවන අර්ධය තුළදීත් හොං කොං කණ්ඩායම තම උපක්‍රම වෙනස් කර ඇති ආකාරයක් දක්නට නොලැබුණි. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අතට පන්දුව ලැබුණු සැනින් ඔවුන්ගේ සියලු ක්‍රීඩකයන් ආරක්ෂක පෙළ ශක්තිමත් කිරීම සඳහා පෙරට පැමිණීම දක්නට ලැබුණි. පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ අංක 1 සහ 7 දරන හොං කොං ක්‍රීඩකයන් ඉදිරියට පැමිණෙද්දී පන්දුව අත දරන දුලාජ් පෙරේරාව ආවරණය කිරීම සඳහා ක්‍රීඩකයන් දෙදෙනෙක් කටයුතු කරන ආකාරයයි.Asia 7s 3

මෙහිදී දුලාජ් පෙරේරා හට පන්දුව ක්‍රීඩාංගනයෙන් ඉවතට යොමු කිරීම හැර අන් කිසිදු දෙයක් කිරීම පිලිබඳ තීරණය කිරීමට කාලය නොතිබුණි. පහත ඡායාරූපයේ හොං කොං ක්‍රීඩකයන් සියලු දෙනා ශ්‍රී ලංකා සීමාව තුල රැඳී සිටින අයුරු දැක ගත හැකියි. ශ්‍රී ලංකා කණ්ඩායමට සිතීමට කාලය නොතිබුනත්, එම අවස්ථාවේ පන්දුව හොං කොං ගෝල සීමාව අසලට යන ලෙස පා පහරක් එල්ල කර එම පන්දුව හඹා යාමේ (deep kick and chase) උපාය මාර්ගය යොදා ගත්තේ නම් ශ්‍රී ලංකාවට ලකුණු ලබා ගැනීමට විශාල අවස්තාවක් පැවතුනි. Asia 7s 4

ශ්‍රී ලංකා කණ්ඩායම නැවත ආරම්භ කිරීමේදීද දැක්වුයේ ඉතා දුර්වල ක්‍රීඩා විලාශයකුයි. ඔවුන් එල්ල කල සියලු පහර හොං කොං ක්‍රීඩකයන් අතට පත් වීම සිදුවුවත් ඔවුන් සෑම පා පහරක්ම වෙනස් කෝණ වලට ස්ථානගත කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මුලා කරන්නට සමත් විය.

සත් සාමාජික රග්බි  ක්‍රීඩාව ඉතා විශේෂිත ක්‍රීඩාවකි. තරගයෙන් තරගයට උපක්‍රම වෙනස් වන මෙම තරග රටාව ඉක්මනින් තේරුම් ගැනීම ජයග්‍රහණය සඳහා ඉතා වැදගත් වෙයි. පසුගිය සති දෙකක කාලය තුල ප්‍රතිවාදීන්ගේ තරග රටාවන් තේරුම් ගෙන නව මුහුණුවරකින් මෙරට පැවැත්වෙන තරගාවලිය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්තාව හිමිවිය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මින් පෙර කිසිදු අවස්තාවක ආසියානු මට්ටමේ කුසලාන ශූරතාවක් දිනා ගන්නට සමත්වී නැත. කෙසේ වෙතත් මේ වසරේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 20න්  සහ 18න් පහල කණ්ඩායම් දෙකම ආසියානු ශූරතා වලට හිමිකම් කියමින් ඉතිහාසය අලුතින්  ලියන්නට සමත් විය. එබැවින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමටත් එවන් දක්ෂතාවක් දැක්වීමට හැකි වුවහොත් එය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ ස්වර්ණමය වසරක් වූ 2016 වසර තවත් බැබලවීමට හේතු කාරණයක් වනු ඇති.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට වඩාත් අභියෝගාත්මක අත්දැකීමකට මුහුණ දීමට සිදුව තිබෙන්නේ පළමු වටයේදී හොං කොං, සිංගප්පූරු, චීන සහ ජපාන කණ්ඩායම් සමග තරග වැදීමට සිදුවීම හේතුවෙනුයි. ආසියානු ශූරතා සත් සාමාජික රග්බි තරග මාලාවේ පළමු අදියරේදී ජපානය ලකුණු 14 – 07 ක් ලෙස ශූරතාව දිනා ගත් අතර එහි අනුශූරියන් වූ චීන ක්‍රීඩිකාවන් ජපානයෙන් එම පරාජයේ වාඩුව ගත්තේ දෙවන අදියරේ අවසන් තරගය ලකුණු 21 – 14ක් ලෙස ජය ගනිමිනුයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට