සංගක්කාර ක්‍රීඩකයෙක්ම නොවෙයි ගුරුහරුකම් දුන් හොඳ මහත්මයෙක් – ඇන්ජිලෝ මැතිව්ස්

131

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා-ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා තීරණාත්මක තරගය පී. සරවනමුත්තු පිටියේදී අද (20දා) ආරම්භ වීමට නියමිතව ඇත්තේ දෙපිල අතර පවත්වන 37 වැනි තරගය ලෙසිනි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ඉහළම ලකුණු ලබාගත් නාමලේඛනයේ පළමු තැන මෙන්ම ලොව පිතිකරුවන් අතර පස්වැනි තැන අත්පත් කරගෙන සිටින කුමාර් සංගක්කාරගේ අවසන් ටෙස්ට් තරගය මෙය වන බැවින් වැඩි දෙනාගේ අවධානය අද තරගයට යොමුව තිබේ.වසර 15ක ක්‍රිකට් දිවියේ අවසන් ටෙස්ට් තරගයට මුහුණ දෙන සංගක්කාර මේ වන විට ටෙස්ට් තරග 133කට සහභාගි වී ටෙස්ට් ශතක 38ක්, අර්ධ ශතක 52ක් සමඟින් ලකුණු 12,350ක් රැස්කරගෙන ඇති අතර, ලොව ලකුණු 8000කට එහා ලබාගත් පිතිකරුවන්ගේ පිතිකරණ සාමාන්‍ය අතින් ඉහළම සාමාන්‍යයක් (57.71) හිමිකරගෙන ඇත්තේද සංගක්කාරයි.

ගාල්ල තරගයේදී ලැබූ ජයත් සමඟින් යහපත් මානසිකත්වයෙන් අද තරගයට පිවිසෙන ශ්‍රී ලංකාවේ එකම අරමුණ වී ඇත්තේ මෙම තරගයත් ජය ගනිමින් ලොව ශේ්‍රෂ්ඨ පිතිකරුවන් අතර කැපී පෙනෙන වමත් පිතිකරුවාට ගෞරවනීය සමුගැනීමක් ලබාදීම විය යුතුය.
“සංගක්කාර කියන්නේ සැබෑ මහත්මයෙක්. ඔහු මම කණ්ඩායමට ආ කාලයේ සිට මේ වන තෙක්ම මට උපදෙස් දුන්නා. ඔහුගේ දැනුම මට විතරක් නොවෙයි කණ්ඩායමේ අනෙක් අයටත් ඔහු ලබා දුන්නා. ඒ නිසා ඔහු ඒ කළ සේවයට අපි කණ්ඩායමක් හැටියට කළගුණ සලකන්න ඕන. මේ තරගයත් ජයගෙන ඔහුට ගෞරවනීය සමුගැනීමක් සලසන්න අපි හැමදෙනාගේම අදහස වෙලා තියෙනවා” යැයිද ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් පවසා සිටියේ ඒ බව සනාථ කරමිනි.

එහෙයින් එම සමු ගැනීම ජයග්‍රහණයකින් සපුරාගත හැකි වුවහොත් මේ වන විට ලොව ටෙස්ට් ශේ්‍රණිගත ලැයිස්තුවේ 7 වැනි තැන හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාවට එක් පියවරක් ඉදිරියට පැමිණීමට හැකියාව ඇත. එනම් මේ වන විට ශේ්‍රණිගත ලකුණු 92ක් ලබා ඇති ශ්‍රී ලංකාවට මෙම ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට හැකි වුවහොත් ශේ්‍රණිගත ලකුණු 96ක් හිමිවී 6 වැනි ස්ථානයට පැමිණීමට හැකියාව ඇති අතර, මෙම තරගයද ජයගතහොත් 6 වැනි ස්ථානයේට සිටින නමුත් ශේ්‍රණිගත ලකුණු 98 දක්වා වැඩිකරගැනීමට හැකියාව තිබේ.
යම් හෙයකින් අද තරගයෙන් ඉන්දියාව ජයගතහොත් අගෝස්තු 28 වැනිදා එස්.එස්.සී. පිටියේදී ආරම්භ වන ටෙස්ට් තරගය දෙපිලටම තීරණාත්මක තරගයක් බවට පත්වේ.

කෙසේ වෙතත් අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසියම් වෙනස්කමක් සිදුවේද යන්න කළ විමසීමේදී ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් පැවැසුවේ පිතිකරුවන්ගේ වෙනසක් සිදු නොවුණත් පන්දු යවන්නන්ගේ වෙනසක් සිදුවනු ඇති බවය.
“පිතිකරුවන්ගේ වෙනසක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් මේ වන විට කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක්වෙලා ඉන්න නුවන් ප්‍රදීප්ගේ තත්ත්වය තවම සම්පූර්ණයෙන්ම සුව අතට පත්වෙලා නැති නිසා ඔහු ක්‍රීඩා කරනවාද නැද්ද කියලා කියන්න අමාරුයි” යැයි ශ්‍රී ලංකා නායකයාගේ අදහස විය.
ඒ අනුව අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නුවන් ප්‍රදීප් ක්‍රීඩා නොකළහොත් ඒ වෙනුවට දුෂ්මන්ත චමීරට හෝ විශ්ව ප්‍රනාන්දුට අවස්ථාව හිමිවීමට ඉඩ ඉඩ ඇති නමුත් ඉන්දීය කණ්ඩායමේ ආබාධයක් හේතුවෙන් ඉවත්ව සිටින ෂිකර් දවාන් වෙනුවට මුරලි විජේද, හර්බජන් සිං වෙනුවට බුවනේෂ් කුමාර් හෝ ස්ටුවර්ට් බින යොදවාගැනීමට නියමිතව ඇති බවද වාර්තා වේ.