වසර 4කට පසු සේරම් පළිහ මහනුවරින් ගල්කිස්සට

කැනන් ආර්. එස්. ද සේරම් පළිහ 2022

1543

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන කීර්තිමත් සම්ප්‍රදායික රග්බි තරගය අද (26) හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

තරගය ලකුණු 17-14ක් ලෙස ජයග්‍රහණය කරමින් කැනන් ආර්. එස්. ද සේරම් පළිහ තමන් සතු කරගැනීමට සාන්ත තෝමස් කණ්ඩායම සමත් වුනා.

තරගයේ පළමු අර්ධය අවසානයේ ත්‍රිත්ව විද්‍යාලයට වැඩි වාසියක් හිමිව තිබුණා. එහි දී පළමු අර්ධය නිමා වන විට ත්‍රිත්ව කණ්ඩායම ලකුණු 03-14ක් ලෙස ඉදිරියෙන් පසුවුනා. කෙසේ වෙතත් සාන්ත තෝමස් විද්‍යාලය දෙවැනි අර්ධයේ දී ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වෙමින් තියුණු තරගයකින් පසු ලකුණු 17-14ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා.

තරගය ආරම්භ වී 8 වැනි මිනිත්තුවේ දී සාන්ත තෝමස් කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක යෙහාන් බුලත්සිංහල වෙත එල්ල කළ වැළැක්වීමක් නිසා ත්‍රිත්ව ක්‍රීඩක ලිත්මාල් මොරගොඩ හට කහ කාඩ්පතක් හිමි වුනා. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සාන්ත තෝමස් කණ්ඩායම ත්‍රිත්ව කණ්ඩායමේ ඉදිරිපෙළ වෙත අඛණ්ඩ පීඩනයක් එල්ල කිරීමට සමත් වුනා.

ත්‍රිත්ව කණ්ඩායම එක් ක්‍රීඩකයෙකුගේ අවාසිය සහ සාන්ත තෝමස් අභියෝගය හමුවේ තරමක් පසුබැසීමකට ලක්ව තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස උත්සාහක දිනුම් රේඛාවට මීටර් 22ක් දුරින් දඬුවම් පහරක් ලබා ගැනීමට සාන්ත තෝමස් කණ්ඩායමට හැකියාව ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ යෙහාන් බුලත්සිංහල සාර්ථක ප්‍රවර්ථනයක් සමඟින් සාන්ත තෝමස් විද්‍යාලයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් වුනා. (සාන්ත තෝමස් 03-00 ත්‍රිත්ව)

තරගයේ මුල් මිනිත්තු කිහිපයේ දී තමාට එල්ල වූ පීඩනය නැවත ප්‍රතිවාදීන් වෙත යොමු කරමින් සාන්ත තෝමස් කණ්ඩායමේ ඉදිරි පෙළ ආක්‍රමණය කිරීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වූ අතර ඒ අනුව තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට ත්‍රිත්ව කණ්ඩායමේ මිනිදු ජයසුන්දරට හැකියාව ලැබුණා. ඉන් නොනැවතුනු තමුදිත දොඩන්වත්ත සිය විශිෂ්ට පා හරඹය දක්වමින් ප්‍රවර්ථනය ද සාර්ථක කරගැනීමට සමත් වුනේ ත්‍රිත්ව කණ්ඩායමට තවත් අමතර ලකුණු 2ක් එක් කරදෙමින්. (සාන්ත තෝමස් 03-07 ත්‍රිත්ව )

තරගයේ පළමු අර්ධයේ මීළඟ මිනිත්තු කිහිපය පුරාම ත්‍රිත්ව කණ්ඩායම සිය ආධිපත්‍යය පැතිරවීමට සමත් වුනා. තරගයේ දෙවැනි උත්සාහක දිනුමත් ත්‍රිත්ව කණ්ඩායම විසින් වාර්තා කිරීමට සමත් වුනේ පළමු අර්ධය නිමා වීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දීයි.

එහි දී ත්‍රිත්ව ක්‍රීඩක ආසිරි කොඩිතුවක්කු විශිෂ්ට දස්කම් දක්වමින් ප්‍රතිවාදියා වෙත පැමිණි පන්දුව සොරා ගැනීමට සමත් වූ අතර සාන්ත තෝමස් කණ්ඩායමේ ආරක්ෂක වළල්ල මඟහැර යමින් මීටර් 40ක් දුරින් තිබූ සීමා ඉර පසුකිරීමට සමත් වුනා. නැවතත් ක්‍රියාත්මක වූ තමුදිත දොඩන්වත්ත තම කණ්ඩායමට අමතර ලකුණු 2ක් එක් කිරීමට සමත් වුනා. (සාන්ත තෝමස් 03-14 ත්‍රිත්ව )

පළමු අර්ධය: සාන්ත තෝමස් විද්‍යාලය 03 – 14 ත්‍රිත්ව විද්‍යාලය

පළමු අර්ධයේ දී පසුබෑමකට ලක්ව සිටි සාන්ත තෝමස් කණ්ඩායම දෙවැනි අර්ධයේ ආරම්භයේ සිටම තරගය තුළ තම අණසක පැතිරවීමට සමත් වුනා. ත්‍රිත්ව කණ්ඩායම ඔවුන්ගේ අර්ධයට සීමා කළ සාන්ත තෝමස් කණ්ඩායම ඔවුන්ගේ ඉදිරිපෙළ වෙත අඛණ්ඩ පීඩනයක් එල්ල කළා.

එහි දී ක්‍රියාත්මක වූ සාන්ත තෝමස් කණ්ඩායමේ සෙන්ටර් ක්‍රීඩක ඔවින් හෙට්ටිආරච්චි සිය කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වුනා. ඒ දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 10ක් ගතවී තිබිය දීයි. යෙහාන් බුලත්සිංහල එහි අතිරේක ලකුණු 2 ද තම කණ්ඩායමට ලබාදුන්නා. (සාන්ත තෝමස් 10-14 ත්‍රිත්ව)

ත්‍රිත්ව ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම දෙවැනි අර්ධයේ දී සුපුරුදු දස්කම් අතරට නොපැමිණි අතර ආදේශක ක්‍රීඩක අශේන් විජේසූරිය අනතුරුදායක වැළැක්වීමක් නිසා තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවන් තීරණය කිරීමත් සමඟින් ත්‍රිත්ව කණ්ඩායම තවත් පීඩනයකට පත්වුනා.

සාන්ත තෝමස් කණ්ඩායමේ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක සකිත් පෙරේරා ත්‍රිත්ව ආරක්ෂක වළල්ල හරහා යමින් සීමා ඉර ආසන්නයට පන්දුව රැගෙන යමින් උත්සාහක දිනුම් රේඛාවට මීටර් 5ක් දුරින් දඬුවම් පහරක් ලබා ගැනීමට සමත් වුනා.

එහි දී සාන්ත තෝමස් ක්‍රීඩක දුනාල් ප්‍රනාන්දු ඉක්මන් දඬුවම් පහර ලබා ගැනීමක් සමඟින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනේ ත්‍රිත්ව ක්‍රීඩකයන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්. (සාන්ත තෝමස් 17-14 ත්‍රිත්ව)

කණ්ඩායම් දෙකම අවසන් මිනිත්තු 20 තුළ දැඩි සටනක නිරත වුනා. එහි දී සාන්ත තෝමස් කණ්ඩායමේ නායක ලශාන්ද්‍ර ද සිල්වා හට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කළේ ඔහු විසින් සිදු කරන ලද අනතුරුදායක වැළැක්වීමක් නිසාවෙන්. ඒ තරගයේ 58 වැනි මිනිත්තුවේ දීයි.

කෙසේ වෙතත් ත්‍රිත්ව ආදේශක ක්‍රීඩක ලෝෂික විජේකෝන් පිටියේ සිටි සාන්ත තෝමස් ක්‍රීඩකයෙකුගේ හිසට පාදයෙන් පහර දෙන අයුරු සහය විනිසුරු විසින් දැක තිබුණා. මේ නිසා ඔහුට ද කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරුවන් ක්‍රියා කළා.

තරගයේ අවසන් මිනිත්තුවේ දී නොසන්සුන්කාරී හැසිරීම සහ විනිසුරුවරයාගෙන් නැවත නැවතත් ප්‍රශ්න කිරීම නිසා ත්‍රිත්ව කණ්ඩායමේ අංක 8 ක්‍රීඩක තිදස් තන්තිරිගේ හට කහ කාඩ්පතක් ලබා දී තිබුණා. මේ අනුව තරගය නිමා වුනේ සාන්ත තෝමස් කණ්ඩායමට ලකුණු 17-14ක ජයක් හිමි කරදෙමින්.

සාන්ත තෝමස් විද්‍යාලය කැනන් ආර්. එස්. ද සේරම් පළිහ ජයග්‍රහණය කළේ වසර 4කට පසුව වීම විශේෂත්වයක්.

අවසාන ලකුණු තත්වය – සාන්ත තෝමස් විද්‍යාලය 17-14 ත්‍රිත්ව විද්‍යාලය 

ලකුණු රැස් කළ ක්‍රීඩකයන්,

සාන්ත තෝමස් විද්‍යාලය: යෙහාන් බුලත්සිංහල (1 P,2 C), ඔවින් හෙට්ටිආරච්චි (1T), දුනාල් ප්‍රනාන්දු (1T).

ත්‍රිත්ව විද්‍යාලය: තමුදිත දොඩන්වත්ත (2C), මිනිදු ජයසුන්දර (1T), ආසිරි කොඩිතුවක්කු (1T).

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<