Dialog 4G – The Sunday Times Schoolboy Cricketer 2019 සම්මාන උළෙල පසුගිය දා නිමා වූයේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට සම්මාන 5ක් ලබා දෙමිනි. එය සම්මාන උළෙලේ නැගී එන කාණ්ඩයේ පාසලක් දිනා ගත් වැඩිම පදක්කම් ප්‍රමාණය විය. 

2019 ‘Dialog 4G’ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා නාලන්දාවෙන්

නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී අද (16) නිමාවට පත්වූ “Dialog 4G – The Sunday Times Schoolboy….

නැගී එන කාණ්ඩයේ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සහ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – සමිත් ඉසුරු 

සම්මාන උළෙලේ දී කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය ගෞරවනීත්වයට පත් කළ ප්‍රමුඛ ක්‍රීඩකයා වන්නේ සමිත් ඉසුරු ය. ඔහු මෙවර සම්මාන උළෙලේ දී හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසත් වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙසත් සම්මානයට පාත්‍ර වන්නේය. 

ඔහු මේ සම්මාන සඳහා නිර්දේශ වන්නේ මෙවර නිමා වූ පාසල් ක්‍රිකට් තරග සමයේ දී පිතිකරුවෙක් ලෙසින් ලකුණු 1013ක් සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 95ක් ලබා ගනිමින් දැක්වූ දක්ෂතාය. 

දකුණතින් පන්දුවට පහර දෙන ඉසුරු මෙම ලකුණු ප්‍රමාණය රැස් කිරීමට තරග 15ක ඉනිම් 26කට මුහුණ දී තිබේ. වාර්තා කර ඇති ශතක ප්‍රමාණය 3කි. අර්ධ ශතක 3කි. ඔහුගේ හොඳම ඉනිම වන්නේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහිව රැස් කරන ලද ලකුණු 179යි. පන්දු 189ක දී වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 16ක් සහ හයේ පහර 6ක් ඇතුළත් විය. 

ඊට අමතරව කටුගස්තොට කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව ලකුණු 121ක් ලබා ගන්නා අතර එම ඉනිම පන්දු 179කින් වාර්තා විය. හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් එම ඉනිමට ඇතුලත් විය. ඉසුරුගේ අනෙක් ශතකය ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව වාර්තා විය. පන්දු 108කට මුහුණ දී හයේ පහර 5ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තේ ය. හොරණ තක්ෂිලා විද්‍යාලය (55), මීගමුව සාන්ත පීතර විද්‍යාලය (65), දෙහිවල එස්. ද එස්. ජයසිංහ විද්‍යාලයට (75) එරෙහිව අර්ධ ශතක ඉනිම් ක්‍රීඩා කළේය. 

දකුණතින් පා දඟපන්දු යවන ඉසුරු මෙවර ලබා ගත් කඩුලු 95ට තරගයක කඩුලු 10කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 5ක් වාර්තා කිරීමට සමත් වෙන්නේ ය. ඔහුගේ තරගයක පන්දු යැවීමේ හොඳම දක්ෂතාව වන්නේ අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයට එරෙහිව ලකුණු 98කට ලබා ගත් කඩුලු 13යි. එම තරගයේ දෙවැනි ඉනිමේ දී ඔහු ලකුණු 45කට කඩුලු 8ක් දවා ගනිමින් ඉනිමක හොඳම පන්දු යැවීම ද වාර්තා කරන්නේ ය. 

“මේ ලැබුණු සම්මානය මගේ ක්‍රිකට් ජීවිතයට වගේම අපේ විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ආශීර්වාදයක්. අපි ගමක් විදිහට හුදකලා වෙලා හිටියේ. මේ ඇගයීමත් සමඟින් රටේම අය අපි ගැන කතා කරනවා. ඒ ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. අපි ගොඩක් මහන්සි වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල අපිට ලැබුණා. ඇත්තටම සතුටුයි. මම හිතනවා මේක පාසල් ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තාවක් වෙන්න ඇති කියලා. අපේ ජයග්‍රහණ පිටුපස සිටි සුවිශේෂී චරිත අතුරින් අජන්ත කුමාර සර් සහ චමුක මිලාන් සර් ඉදිරියෙන්ම සිටිනවා. ඔවුන් දෙදෙනා තමයි අපි ව මේ තත්ත්වයට ගෙනාවේ. අපි වගේ පාසල්වල ක්‍රීඩකයන්ට Dialog 4G පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල විශාල ආශිර්වාදයක්. ඔවුන්වත් මේ අවස්ථාවේ අපි සිහිපත් කරනවා.” ඉසුරු ThePapare.com සමඟ පැවැසුවේ ය.

නැගී එන කාණ්ඩයේ හොඳම කඩුලු රකින්නා – ජනෙත් කෞෂාල්

මෙවර සම්මාන උළෙලේ දක්ෂතම කඩුලු රකින්නා ලෙසින් සම්මානයට පාත්‍ර වන්නේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ජනෙත් කෞෂාල් ය. තවමත් 16 වැනි පසුවෙන ජනෙත් නිමා වූ පාසල් ක්‍රිකට් තරග වාරයේ දී කඩුල්ල පිටුපස සිටිමින් කඩුලු 47ක් ලබා ගැනීමට දායක වන්නේ ය. ඒ අතරට උඩ පන්දු රැක ගැනීම් 32ක් ද, කඩුලු බිඳ දැමීම් 15ක් ද ඇතුළත් වන්නේය. 

ජනෙත් කඩුල්ල පිටුපස රාජකාරිය බාර ගන්නේ දකුණත් වේගපන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දක්වද්දී වීම සුවිශේෂ වේ. වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ නායකත්වය සමඟින් ජනෙත් කඩුලු රකින්නෙක් බවට පත් වෙන්නේ පුහුණුකරු අජන්ත කුමාර මහතාගේ මඟ පෙන්වීම යටතේ.   

“මම ක්‍රිකට් පුහුණුවීම් කළ මුල්ම කාලෙ දි පුහුණු වුනේ කඩුලු රකින්නෙක් ලෙසින්. ඒත් තිබුණ අත් ආවරණ ලොකු නිසා සර් මාව වේගපන්දු යවන්නෙක් ලෙසින් පුහුණු කළා. පස්සේ කාලෙදි මම පිතිකරුවෙක් ලෙසින් ඉදිරියට ආපු නිසා සර් නැවත මට කඩුලු රකින්නෙක් ලෙසින් පුහුණු වෙන්න කිව්වා. ඒත් ඒ වෙද්දී මගේ ඒකට එච්චර කැමැත්තක් තිබුණෙ නැහැ. මට හිතුණෙ මම පන්දු යවන්නෙක් ලෙසින් ස්ථාවර වෙලා කියන එකයි. ඒත් සර්ගේ ඉල්ලීම ඉවත දාන්න බැරි නිසා මම ඒ වැඩේ බාර ගත්තා. සර් ගත්ත ඒ තීරණය නිසා අද මම Dialog 4G පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ ඇගයීමට ලක් වුනා. ඇත්තටම මේ සම්මානයේ නියම හිමිකරු වෙන්නේ  අජන්ත සර්. ඔහුට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට මගේ දක්ෂතා දියුණු කර ගන්න උදව් කරන දිනේෂ් කුමාර සර් සහ චමුක මිලාන් සර් දක්වන සහයෝගයත් විශාල ශක්තියක්.” ජනෙත් ThePapare.com සමග පැවැසුවේය.

නැගී එන කාණ්ඩයේ හොඳම පන්දු යවන්නා (අනුශූරතාවය) – රවිඳු මිලාන්

දකුණතින් පිට දඟපන්දු යවන රවිඳු මිලාන් මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී තරග 14ක දී කඩුලු 105ක් ලබා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙන් දෙවැනි කොටසේ දක්ෂතම අනුශූර පන්දු යවන්නා ලෙසින් Dialog 4G පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ දී ඇගයීමට ලක් වෙන්නේය. 

රන්දෙණි ක්‍රිකට් ඉතිහාසයේ එක් තරග වාරයක දී කඩුලු 100ක් වාර්තා කළ පළමුවැනියා වූ රවිඳුගේ කඩුලු ගිණුමේ කඩුලු 5ක් බැගින් දවා ගත් අවස්ථා 10ක් ද, තරගයක කඩුලු 10කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 3ක් ද වේ. ඒ අතරින් ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වෙන්නේ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 36කට ලබා ගත් කඩුලු 7යි. එම තරගයේ දී දෙවැනි ඉනිමේ දී ලකුණු 32කට කඩුලු 6ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 68කට කඩුලු 13ක් දවා ගනිමින් තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ ය.

රවිඳුගේ පන්දු යැවීමේ දී කළුතර තිස්ස මහා විද්‍යාලයට එරෙහිව මෙන්ම ඇල්පිටිය ආනන්ද විද්‍යාලය සහ හොරණ තක්ෂිලා විද්‍යාලයට එරෙහිව ඔහු තරගය කඩුලු 10කට වැඩියෙන් ලබා ගත් අවස්ථා වාර්තා කරන්නේ ය. ඊට අමතරව කෑගලු විද්‍යාලය, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය, කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය, මීගමුව සාන්ත පීතර විද්‍යාලය සහ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව ඉනිමක කඩුලු 5කට වැඩියෙන් ලබා ගත් අවස්ථාවන් ලෙසින් තරග නිමා කර ඇත. 

පදක්කම් නොලත් දක්ෂතාවෙන් සපිරි රන්දෙණි ක්‍රීඩකයෝ

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සමිත් ඉසුරු, රවිඳු මිලාන් සහ ඉෂාර මධුවන්ත යනු…

පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වා ඇති රවිඳු නිමා වූ පාසල් ක්‍රිකට් තරග වාරයේ දී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව වාර්තා කළ අර්ධ ශතක ඉනිම් සමගින් ලකුණු 385ක් ද රැස් කරන්නේ ය.

“ඩයලොග් ආයතනය සහ පාසල් ක්‍රිකට් සංගමය මගින් මගේ දක්ෂතා ඇගයීම ගැන තිබෙන්නේ පුදුම සතුටක්. මේක මගේ ක්‍රිකට් දිවියට විශාල ශක්තියක්. මට ක්‍රිකට් පිටියේ මේ තරම් දුර එන්න පුළුවන් කියල කවදාවත් හිතුවේ නැහැ. මගේ පිටුපස්සේ සිටි දිනේෂ් සර්, ප්‍රියන්ත සර්, අජන්ත සර් සහ චමුක සර් තමයි මාව මේ තත්ත්වයට පත් කළේ. මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා මාව මේ තත්වයට ගෙනාවට.” රවිඳු ThePapare.com හා පැවැසුවේ ය.

නැගී එන කාණ්ඩයේ හොඳම පන්දු රකින්නා (අනුශූරතාවය) – ඉෂාර මධුවන්ත 

Dialog 4G පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් සම්මාන දිනූ අනෙක් ක්‍රීඩකයා වන්නේ ඉෂාර මධුවන්ත ය. ඔහු සම්මාන දිනා ගන්නේ හොඳම පන්දු රකින්නා අනු ශූරතාවයය. ඔහු මේ වසරේ දිනූ සම්මානයත් සමගින් Dialog 4G පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ පිට පිට තෙවැනි වසරටත් සම්මාන දිනා ගනිමින් කැපී පෙණෙන චරිතයක් බවට ද පත් වන්නේ ය. 

ඉෂාර මීට පෙර 2016/17 වසරේ දී හොඳම පන්දු රකින්නා ශූරතා කුසලානයත් 2017/18 වසරේ දී හොඳම පන්දු රකින්නා අනුශූරතාවයත් දිනා ගත්තේ ය.  

පන්දු රැකීමෙන් සම්මාන දිනා ගත්ත ද ඉෂාර දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු නිමා වූ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී තරග 15කට මුහුණ දී ඉනිම් 27ක දී ලකුණු 1108ක් ලබා ගන්නේ ය. මෙම ලකුණු ප්‍රමාණයට ශතක 4ක් සහ අර්ධ ශතක 5ක් එක් කිරීමට ඔහු සමත් වන්නේ ය. ඔහුගේ ඉනිම් අතර ඉහළින්ම කියැවෙන්නේ අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයට එරෙහිව පන්දු 184කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහර 5ක් සමඟින් ලබා ගත් ලකුණු 148යි. 

ඊට අමතරව කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට එරෙහි ව පන්දු 145කට මුහුණ දී හතරේ පහර 20ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 137ත්, මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව පන්දු 116කට මුහුණ දී හතරේ පහර 18ක් සමඟින් ලබා ගත් ලකුණු 110ත් සහ හොරණ තක්ෂිලා විද්‍යාලයට එරෙහිව පන්දු 130කට මුහුණ දී  හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 105ත් ශතක ලැයිස්තුවේ ඇත. 

මුතු ඇටය හා බැංකු ලිපිකරුවා

ශ්‍රී ලංකාව අතීතයේ ප්‍රසිද්ධව සිටියේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් ය. (The Pearl of Indian Ocean) එතරම් පිළිගැනීමක්….

කෑගලු විද්‍යාලය (70), බලපිටිය රේවත විද්‍යාලය (65) සහ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයට (77) එරෙහිව රැස් කරන ලද අර්ධ ශතක ඉනිම් ද ඔහුගේ ලකුණු ගිණුම ශක්තිමත් කර ඇත. 

දකුණතින් පිට දඟපන්දු යවන ඉෂාර නිමා වූ වසරේ දී කඩුලු 15ක් දවා ගෙන ඇති අතර උඩ පන්දු 46ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා ඇත. 

“මේ දක්ෂතාවලට එන්න මාව දිරිමත් කළේ අජන්ත සර් සහ චමුක සර්. ඒ දෙදෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තුන්වැනි වරටත් මට සම්මාන දිනා ගන්න හැකි වීම ගැන ඇත්තේ පුදුම තරමේ සතුටක්. Dialog 4G පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ ඇගයීමට ලක්වීම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සිහිනයක්. ඉතිං ඒ සිහිනය උදාකර ගන්න උදව් කළ හැමෝට ම පිං.”  ඉෂාර ThePapare.com සමඟ පැවැසුවේ ය.

සම්මාන උළෙලේ ඇගයීමට ලක්වූ ඔබ සියලු දෙනාටම ThePapare.com විශිෂ්ට අනාගතයක් ප්‍රාර්ථනා කරන්නෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<