මංගල ලෝක ටෙස්ට් ශූරයින්ට ඩොලර් මිලියන 1.6ක්!

221

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය මේ මස 18 වැනිදා සිට 22 වැනිදා දක්වා එංගලන්තයේ Southampton හිදී ආරම්භ වීමට නියමිතයි.

ඒ සඳහා තවත් දින කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී එහි ශූරයින් අනුශූරයින් ද ඇතුලත්ව ඒ ඒ ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් සඳහා හිමිවන ත්‍යාග මුදල් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (14) නිල වශයෙන් නිවේදනය කළා.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු ශූරයින් ලෙස ඉතිහාසගත වනු ඇති අතර ඔවුන්ට ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය ජයග්‍රහණය වෙනුවෙන් ලබා දෙන සෙංකෝලයට (ICC Test Championship Mace) අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක මුදලක් හිමි වීමට නියමිතයි. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 31ක පමණ විශාල මුදලක් වනවා.

තවත් ක්‍රිකට් පුවත්: 

අනුශූරයින්ට හිමිවන මුදල ඇමරිකානු ඩොලර් 800,000ක් වන අතර තරගාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 450,000ක මුදලක් ලබා දිමට නියමිතයි.

ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය සදහා ඩොලර් 350,000ක මුදලක් හිමි වනවා. ඒ අනුව පිළිවෙලින් එහි තුන්වැනි සහ සිව්වැනි ස්ථාන ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට හිමි වනු ඇත.

පස්වැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 200,000ක මුදලක් හිමිවෙන අතර ඒ සඳහා දැනට හිමිකම් කියන්නේ පාකිස්තානය වුවත්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අවසන් වන තෙක් එම ස්ථානය දිනා ගන්නා කණ්ඩායම නිසි ලෙසම ප්‍රකාශ කිරීමට අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ.

ඒ යම් හෙයකින් එම තරගය දකුණු අප්‍රිකානුවන් ජය ගතහොත් 2019-21 ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැන සහ ඒ සඳහා හිමිවන ත්‍යාග මුදල හිමිවන්නේ දකුණු අප්‍රිකානුවන්ට වන අතර ඒ සඳහා සීතල යුද්ධයක් මේ වන විටත් නිර්මාණය වී තිබෙනවා.

කණ්ඩායම් 9ක් සහභාගී වූ 2019-21 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ සෙසු කණ්ඩායම් 4 වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 100,000 බැගින් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 200 බැගින්) ලබා දීමට නියමිත අතර ශ්‍රී ලංකාව 7 හෝ 8 වැනි ස්ථාන දෙකෙන් එකක් දිනා ගනිමින් තරගාවලිය නිමා කරනු ඇත.  

2019-21 ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේදැනට තිබෙන ප්‍රසාද ලකුණු සටහන මෙසේයි, 

*සැ.යු – දකුණු අප්‍රිකානු කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ජුනි 18 සිට 22 දක්වා Gros Islet හිදී පැවැත්වීමට නියමිත අතර එහි ප්‍රතිඵලය අනුව මෙහි (5,6,7 සහ 8) යන අවසන් ස්ථානවල යම් වෙනසක් විය හැකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<