ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානී තනතුරට හිටපු ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක්?

1550

හිටපු ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී Chetan Sharma හට සිය ධුරය අහිමි වීමෙන් පසු එම වගකීම භාර ගැනීමට සූදානම් පුද්ගලයා පිළිබඳ ඉඟියක් Delhi Capitals කණ්ඩායම විසින් ලබා දී තිබෙනවා.

මෙම වසර ආරම්භයේ දී ම Zee News විසින් සිදු කළ රහස් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස එතෙක් කල් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ලෙස කටයුතු කළ Chetan Sharma හට සිය තනතුර අහිමි වී ගියා.

ඔහුගෙන් පසුව මේ වන තෙක් කිසිවකුත් තවමත් එම වගකීම වෙනුවෙන් තෝරා පත් කර ගෙන නොමැති අතර තවමත් BCCI විසින් තේරීම් කමිටු ප්‍රධානී තනතුර වෙනුවෙන් අයදුම්පත් ලබා ගනිමින් සිටිනවා.

කෙසේ වෙතත් අයදුම්පත් ලබා ගැනීම සඳහා වෙන් කළ අවසන් දිනය අද (30) වන අතර, අදාළ තනතුර වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ හෙට (01) දිනයේ පැවැත්වීමට නියමිත බවයි ඉන්දීය පුවත් සේවයක් වන PTI විසින් සඳහන් කරන්නේ.

මේ අතර එම තනතුර වෙනුවෙන් තරග කරන ප්‍රධානතම තරගකරුවා හිටපු ඉන්දීය වේගපන්දු යවන්නෙකු වන Ajit Agarkar බව මීට දින කිහිපයකට පෙර හෙළිදරව් වුනා. නමුත් ඔහු ඒ වන විට IPL තරගාවලියේ Delhi Capitals කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස වගකීම් දරමින් සිටියා.

කෙසේ වෙතත් ඊයේ (29) දිනයේ Delhi Capitals මගින් Twitter සටහනක් නිකුත් කරමින් පවසා තිබුණේ ඔවුන්ගේ සාමාජිකයින් වූ Ajit Agarkar සහ Shane Watson යන දෙදෙනා කණ්ඩායම් වගකීම් වලින් සමු ගැනීමට නියමිත බවයි.

“ඔබේ දායකත්වය වෙනුවෙන් ස්තුතියි Ajit සහ Watto. ඔබේ ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම්.”

Delhi Capitals විසින් සටහන් කළ මෙම පණිවිඩය සමඟින් ඉන්දීය මාධ්‍ය බොහෝමයක් මඟින් අනුමාන කරන්නේ තේරීම් කමිටු ප්‍රධානී තනතුර වෙනුවෙන් ඇති සටනේ ඉදිරියෙන් ම සිටින Ajit Agarkar විසින් එම තනතුර සඳහා තේරී පත් වනු ඇති බවයි.

එමෙන්ම Agarkar විසින් මීට පෙර ද ඉන්දීය තේරීම් කමිටුව හා සම්බන්ධ වී සිටීම නිසා මෙම අනුමාන කිරීම් නිවැරදි වීම වෙනුවෙන් වැඩි බරක් තැබිය හැකි.

90 දශකයේ අවසාන භාගයේ දී ඉන්දීය කණ්ඩායම සමඟ එක් වූ Agarkar විසින් 2000 දශකයේ මුල් භාගයේ ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය වේගපන්දු යවන්නෙකු ලෙස දස්කම් දැක්වීමට සමත් වූ අතර, 2007 වසරේ දී ඉන්දියාව විසින් පළමු විස්සයි විස්ස ලෝක ශූරතාව ජයග්‍රහණය කරන විට එම කණ්ඩායමේ සාමාජිකයකු ව සිටීමට ද ඔහු වාසනාවන්ත වුනා.

කෙසේ වෙතත් තවමත් මෙය නිල වශයෙන් තහවුරු වූ පුවතක් නොවන වග විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඒ පිළිබඳ නිල වශයෙන් ලැබෙන තොරතුරු සියල්ල ම ඔබ වෙත සමීප කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<