ශ්‍රී ලංකාවට රන් පදක්කම අහිමිවෙයි

176
5th AHF Cup – Sri Lanka gets Silver
Photo credit: Asian Hockey Federation

ආසියානු හොකී සම්මේලනය මඟින් පස්වන වරටත් පවත්වනු ලබන “ආසියානු හොකී සම්මේලන කුසලානයේ” අවසන් තරඟයේ දී රිදී පදක්කමකින් පමණක් සෑහීමට පත්වීමට ශ්‍රී  ලංකාවට සිදුවිය. ඒ, බංගලාදේශයට එරෙහිව රන් පදක්කම වෙනුවෙන් පැවති තරඟය 3-0ක් ලෙස පරාජය වීමත් සමඟය. තරඟය පැවැත්වූයේ ඊයේ (27) හොංකොං හි කිංග්ස් පාක් ක්‍රීඩාංගනයේදීය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකාව, තායිලන්තය හමුවේ ජය ලබයි

ජුබයිර් හසන්, ඉස්ලාම් අශ්‍රෆුල් සහ ඒ. කම්රුස් සමාන් බංගලාදේශය වෙනුවෙන් ගෝල වාර්තා කළ අතර ඉන් දෙකක්ම වාර්තා වූයේ තරඟයේ දෙවන අර්ධයේදීයි.

කණ්ඩායම් වටයේ “A” කාණ්ඩයෙන් මුල්තැන ගත් බංගලාදේශය විසින් හොංකොං, චීන තායිපේ සහ මැකාවු යන කණ්ඩායම් පරාජය කරමින් අවසන් තරඟය වෙත පිවිසුණු අතර “B” කාණ්ඩයේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව වෙතින් උස්බෙකිස්තානයත් තායිලන්තයත් පරාජය ලැබුවේ ය. සිංගප්පූරුවට එරෙහි තරඟය සමව නිමාවට පත් විය.

ප්‍රථම අර්ධයේ 22වන මිනිත්තුවේදී ජුබයිර් හසන් විසින් ශ්‍රී ලංකා ගෝලය ආක්‍රමණය කරන ලදී. එහිදී සාර්ථක වන්නට ඔහුට හැකිවිය.

දෙවන අර්ධයේ 61 සහ 67 යන මිනිත්තුවලදී බංගලාදේශය තවත් ගෝල දෙකක් වාර්තා කළ අතර ඒ දක්වාම තරඟාවලිය තුළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ සඳරුවන් ප්‍රියලංකට හෝ ශාමික ගුණවර්ධනට ඊට පිළිතුරු ලබාදීමට නොහැකිවිය.

අවසානයේදී 3-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරමින් ආසියානු හොකී සම්මේලන කුසලානය දිනාගැනීමට බංගලාදේශය සමත් විය. ශ්‍රී ලංකාවට අනුශූරයන් වශයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

වත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට