“අපිට තරගාවලියේ ලොකු ගමනක් යන්න පුළුවන්” – දසුන් ශානක

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

278

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව ඇති බලාපොරොත්තු පිළිබඳව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පසුගිය දා අදහස් දක්වා සිටියා. එහි දී ඔහු පවසා සිටියේ වත්මන් කණ්ඩායමට අත්දැකීම් අඩු වුවත්, ඔවුන්ට තරගාවලියේ දිගු ගමනක් යාමේ හැකියාවක් පවතින බවයි.

2014 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස පිටියේ එතරම් සාර්ථක වීමට සමත් වුනේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමටත් ඔවුන්ට සිදුව තිබෙනවා.

පසුගිය වසර කීපය තුළ ස්ථාවර කණ්ඩායමක් ගොඩනඟාගැනීම අතින් තරමක් අසාර්ථක වුවත් එය තම අධිෂ්ඨානයට බලපෑමක් නොකරන බව දසුන් ශානක පවසා තිබෙනවා.

අපි ගත්තොත් 2014 ශූරතාවය දිනා ගත් කණ්ඩායමට ලොකු වර්ගීකරණයක් සහ ගැඹුරක් තිබුණා. වත්මන් කණ්ඩායමටත් ඒ හා සමාන හැකියාවක් තිබෙන බව මම හිතනවා. කණ්ඩායමේ එකම වෙනස වෙන්නේ අත්දැකීම් අඩු වීමයි. මේ කණ්ඩායම තරුණ කණ්ඩායමක්. ක්‍රීඩකයන් තම තමන්ගේ වගකීම් නිවැරදිව ඉටු කළහොත් මෙම තරගාවලියේ දී අපිට බොහෝ යන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සිටින අපේ ක්‍රීඩාලෝලීන් අපි සාර්ථක වෙනතුරු බොහෝ කාලයක් බලාගෙන හිටියා. ඔවුන්ව ආඩම්බරයට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

පසුගිය සති කිහිපය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායම අත්කරගත් ප්‍රගතිය ශානකගේ ශුභවාදී ආකල්පයට හේතු වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරක කාලය තුළ වැඩි ප්‍රමාණයක් ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන් වටා කේන්ද්‍රගත වී තිබූ නමුත් පසුගිය එංගලන්ත සංචාරය අතරතුර ජෛව බුබුළු ක්‍රියාපටිපාටීන් උල්ලංඝනය නිසා ඔවුන්ට එල්ල වූ තහනම ශ්‍රී ලංකා කඳවුරට ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට සමත් වුනා.

ඉන් අනතුරුව පසුගිය මාස කිහිපය තුළ දී ශ්‍රී ලංකාවේ එක්දින සහ විස්සයි විස්ස පිතිකරණ සැලැස්ම ප්‍රබල වෙනස්කම් කීපයකට ලක්ව තිබුණා. පිතිකරණ ලැයිස්තුවේ මුල්පෙළ සහ මැදපෙළ වෙනස්කම් කීපයක් සාර්ථක කර ගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව හිමි වුනා.

කෙසේ වෙතත් පසුගිය මාසයේ දී පැවති පුහුණු කඳවුරේ දී අන්තර් සංචිත තරග කීපයක් පැවති අතර එ හිදී එක් එක් ක්‍රීඩකයන්ගේ වගකීම් නිවැරදිව හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබී තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය මාස කීපය තුල කණ්ඩායම් සමබරතාවයේ ඇති අඩුපාඩු කීපයක් නිවැරදි කරගැනීමට සමත්ව තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස අවිශ්ක ප්‍රනාන්දු අංක 4 ස්ථානයට පත්කර ඇති අතර චාමික කරුණාරත්න සහ දසුන් ශානක තරග නිම කරන්නන් ලෙස සිය වගකීම නිසි ලෙස වටහාගෙන ඇති බව ද දක්නට ලැබුණා. මීට අමතරව පැයට කිලෝමීටර් 140 ඉක්මවූ පන්දු යැවීමේ හැකියාවක් සහිත පන්දු යවන්නන් දෙදෙනෙක් සංචිතයට එක්ව සිටින අතර පුළුල් පරාසයක දඟපන්දු යැවීමට සමත් දඟපන්දු යවන්නන් කීපදෙනෙකු ද කණ්ඩායමට එක්ව සිටිනවා.

පසුගිය වසර කීපය තුළ අපි හොඳ මට්ටමකින් දක්ෂතා දක්වන්න සමත් වුනේ නැහැ. ඒත් කණ්ඩායමේ ශක්තිය ඉතාමත් හොඳයි. අපේ ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරලා කණ්ඩායමට එක්වුනා. ඒ වගේම ආරම්භක පිතිකරු විදිහට කුසල් පෙරේරා එක්වෙලා ඉන්නවා. ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දු අංක 4 ක්‍රීඩකයා විදිහට හොඳ ස්ථාවරයක් ගොඩනඟාගෙන ඉන්නවා. අපි අපේ පිතිකරණ ලැයිස්තුව ගොඩනඟාගෙන අවසන්. මම හිතනවා අපි හොඳ සමබරතාවයකින් ඉන්නවා කියලා.”

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් සහ මුල්පෙළ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තවමත් සුළු ගැටලුවක් පවතිනවා. පසුගිය තරග 4 තුල දී ඔවුන් ආරම්භක පිතිකරුවන් යුගල හතරක් අත්හදා බලා තිබුණා. ඒ දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා සහ පැතුම් නිස්සංකයි. ශ්‍රී ලංකා සංචිතයට අවසන් මොහොතේ එක්වූ පැතුම් නිස්සංක පසුගිය තරග කීපය තුළ යම් ස්ථාවරත්වයක් ගොඩනැගීමට සමත්ව තිබුණා.

පැතුම් කියන්නේ දේශීය තරග ක්‍රීඩා කරලා ඒ ව්‍යුහය හරහා කණ්ඩායමට එක්වුන ක්‍රීඩකයෙක්. අපි දන්නවා ඔහුගේ හැකියාවන් ගැන. ඒත් ජාත්‍යන්තර ක්‍රීඩාවට එද්දී අපේ හැකියාව අපි පෙන්වන්න ඕනේ ලකුණු රැස්කරලා. මම හිතනවා මේ තරගාවලිය ඔහුට දස්කම් දක්වන්න තියන හොඳම අවස්ථාවක් කියලා. ඔහු ඒක කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු වූ නුවන් ප්‍රදීප් පසුගිය තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට සමත් වුනා. ඒ අනුව ඔහුගේ ස්ථානයට ලහිරු කුමාර නම් කර තිබුණා.

2021 වසර තුල දී ශ්‍රී ලංකා පන්දු බලඇණියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට දුශ්මන්ත චමීර සමත් වුනා. ඔහු මෙම වසරේ සහභාගී වූ විස්සයි විස්ස තරග 12 දී කඩුලු 15 ක් දවා ගැනීමට සමත්ව සිටින්නේ 6.51 ක ලකුණු සාමාන්‍යයක් රඳවා ගනිමින්.

ප්‍රදීප් කණ්ඩායමෙන් ඉවත් වීම ලොකු බලපෑමක් කළා. ඔහු පසුගිය මාස 6 තුල කැපීපෙනෙන දස්කම් දක්වන්න සමත් වුන ක්‍රීඩකයෙක්. අපි මේ තරගාවලියට ඔහුගේ සේවය ලබාගන්න බලාපොරොත්තුවෙන් හිටියා. මම හිතනවා ලහිරු කුමාර සහ දුශ්මන්ත චමීර ඔහුගේ අඩුව පුරවාවි කියලා.”

ශ්‍රී ලංකා දඟපන්දු බලඇණිය මෙවර වඩාත් කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත්ව සිටිනවා. ලොව විස්සයි විස්ස ලෝක ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ රැඳී සිටින වනිඳු හසරංග එහි මූලික තුරුම්පුව වී තිබෙනවා. 2021 වසර තුල තරග 12කට ක්‍රීඩා කර ඇති වනිඳු එහි දී කඩුලු 20ක් දවාගෙන ඇත්තේ 5.59ක ලකුණු සාමාන්‍යයක් පවත්වා ගනිමින්. මීට අමතරව කණ්ඩායමේ නවතම සාමාජිකයා වන මහීශ් තීක්ෂණ මෙන්ම අකිල ධනංජය ද කණ්ඩායමේ දඟපන්දු බලඇණිය ශක්තිමත් කරනවා.

හසරංග පසුගිය වසර දෙකක කාලය තුළ ප්‍රබල දස්කම් දක්වන්න සමත් වුනා. ඔහු දැන් ලෝකයෙන්ම අංක 2 ක්‍රීඩකයා. ඔහු පන්දු යවන්නේ තරමක් පහතින්. ඒ නිසා පන්දු වලට පහර දෙන්න ඉතාමත් අමාරුයි. ඒ වගේම මහීශ් තීක්ෂණ කණ්ඩායමේ ඉන්නවා. ඔවුන් දෙදෙනා ඉතාමත් තරුණ ක්‍රීඩකයන්. ඔවුන් කණ්ඩායමට ලොකු සේවයක් කරාවි.”

ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් එක් තුරුම්පුවක් වන්නේ ලෝක කුසලාන තරගාවලිය සඳහා උපදේශකයකු ලෙස එක්වූ හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධනයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල Mumbai Indians කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන මහේල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සාර්ථකම පුහුණුකරු ලෙස සැලකෙනවා.

පසුගිය වසර කීපය ගත්තම මහේල ඉතාමත් විශිෂ්ට පුහුණුකරුවෙක් බව ඔප්පු කළා. නායකයෙක් විදිහට ඔහු මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් ඉන්න හොඳම කෙනා මහේල කියලා. ඔහු අපේ කණ්ඩායමට ලොකු සහයෝගයක් දෙනවා”, දසුන් ශානක පවසා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 18 වැනිදා සිය ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට නියමිතයි. ඒ නැමීබියාව සමඟින් පැවැත්වෙන තරගයෙන්.

ESPNcricinfo වෙබ් අඩවිය ඇසුරිනි

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<