ලොවක් මවිත කළ ශ්‍රී ලංකාවේ කැරම් ක්‍රීඩාව

486

5 වැනි ලෝක කුසලාන කැරම් තරගාවලිය පසුගිය 29 වැනිදා දකුණු කොරියාවේ Chuncheon නුවර දී සාර්ථකව නිමාවට පත්විය. එහි දී වසර 4කට පසු ලෝක කුසලාන ජයග්‍රහණයක් මව්බිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම සමත් විය. එහි දී වැඩි ජයග්‍රහණ තමන් සතුකර ගැනීමට ඉන්දීය කැරම් කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම එක් ශූරතාවක් හා අනුශූරතා දෙකක් හිමි කර ගැනීමට සමත් විය.

පිරිමි – කණ්ඩායම් අංශය

  • ශූරතාවය – ශ්‍රී ලංකාව (චමිල් කුරේ, නිශාන්ත ප්‍රනාන්දු, ෂහීඩ් හිල්මි)
  • අනුශූරතාවය – ඉන්දියාව (සහීර් ප්‍රශා, ප්‍රශාන්ත් මුරේ, කේ. සංග්යාමූර්ති)

කණ්ඩායම් අංශයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබූ අතර එම තරගයේ දී 2-1ක් ලෙස ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදවා කණ්ඩායම් ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහි දී සහීර් ප්‍රශා විසින් 25-22ක් හා 25-11ක් ලෙස තරග වට 2-0කින් ෂහීඩ් හිල්මිව පරාජය කිරීමට සමත් විය. නිශාන්ත විසින් සංග්යාමූර්තිව 25-22ක් හා 25-07ක් ලෙස තරග වට 2-0කින් පරාජය කළ අතර චමිල් කුරේ විසින් ප්‍රශාන්ත් මුරේව 03-25, 25-15ක් හා 25-21ක් ලෙස තරග වට 2-1කින් පරාජයට පත් කිරීමට සමත් විය.

කාන්තා-කණ්ඩායම් අංශය

  • ශූරතාවය – ඉන්දියාව (රශ්මි කුමාරි, කාජල් කුමාරි, එස්. අපූර්වා)
  • අනුශූරතාවය – ශ්‍රී ලංකාව (යසිකා රාහුබද්ද, රොෂිටා ජෝසප්, චලනි ලියනගේ)

කණ්ඩායම් අංශයේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති අතර එහි දී 3-0ක් ලෙස ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය. රශ්මි කුමාරි විසින් රොෂිටා ජෝසප්ව 25-19ක් හා 25-23ක් ලෙස වට 2-0කින් පරාජයට පත් කළ අතර කාජල් කුමාරි විසින් චලනි ලියනගේව 25-11ක් හා 25-12ක් ලෙස වට 2-0කින් පරාජයට පත් කරන ලදි. එස්. අපූර්වා විසින් යසිකා රාහුබද්දව 25-12ක් හා 25-23ක් ලෙස වට 2-0කින් පරාජයට පත් කිරීමට සමත් විය.

ස්විස් ලීගය

  • ශූරතාවය – කාජල් කුමාරි (ඉන්දියාව)
  • අනුශූරතාවය – චමිල් කුරේ (ශ්රී ලංකාව)

මෙම ලීගය කාන්තා පිරිමි භේදයකින් තොරව පිළිමළුන් පිටුදැකීමේ ආකාරයට (knock out) පැවැත්වෙන අතර එහි අවසන්  තරගය සඳහා සුදුසුකම් ලැබීමට පසුගිය වර ස්විස් ලීගයේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ චමිල් කුරේ සහ ඉන්දියානු ක්‍රීඩිකාවක වන කාජල් කුමාරි සමත් විය. එහි දී චමිල් කුරේව පරාජයට පත් කරමින් කාජල් කුමාරි ජයග්‍රහණය කිරීමට සමත් විය. එය ක්‍රීඩිකාවක විසින් කැරම් ලෝක කුසලාන තරගාවලියක දී ස්විස් ලීගයක් ජය ගත් ප්‍රථම අවස්ථාව වේ.

තරගාවලියේ පිරිමි අංශයේ කේවල ඉසව්වේ 4 වැනි ස්ථානය දිනා ගැනීමට නිශාන්ත ප්‍රනාන්දු සමත් විය. එම ඉසව්වේ 5, 7 සහ 8 වැනි  ස්ථාන පිළිවෙළින් චමිල් කුරේ, ෂහීඩ් හිල්මි සහ උදේශ් චන්දිම විසින් හිමිකර ගන්නා ලදි. කාන්තා අංශයේ 5, 6 සහ 7 වැනි ස්ථාන පිළිවෙළින් යසිකා රාහුබද්ධ, රොෂිටා ජෝසප් හා චලනි ලියනගේ විසින් හිමිකර ගැනීමට සමත් විය.

පිරිමි අංශයේ යුගල ඉසව්වේ චමිල් කුරේ සහ නිශාන්ත ප්‍රනාන්දු තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ අතර ෂහීඩ් හිල්මි සහ උදේශ් චන්දිම එහි සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. කාන්තා අංශයේ යුගල ඉසව්වේ යසිකා රාහුබද්ධ සහ රොෂිටා ජෝසප් තෙවන ස්ථානය හිමිකර ගත් අතර චලනි ලියනගේ සහ මධූකා රණවීර එහි සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

මීට පෙර ද කැරම් ක්‍රීඩාවෙන් මව්බිමට කීර්තියක් ගෙන ඒමට ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම සමත් වී තිබුණි. ඔවුන් 2012 වසරේ පැවති ලෝක ශූරතා කැරම් තරගාවලියේ දී පිරිමි හා කාන්තා අංශ දෙකෙන්ම කණ්ඩායම් අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. එම වසරේ චමිල් කුරේ විසින් ස්විස් ලීගය ජය ගැනීමට සමත් වූ අතර කාන්තා යුගල අංශයේ ද අනුශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

එම වසරේ වඩාත්ම කැපී පෙනෙන දක්ෂතාවය දැක්වීමට නිශාන්ත ප්‍රනාන්දු සමත් විය. ඒ එම තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට සමත් වීමෙනි. එය ශ්‍රී ලාංකිකයෙකු ලෝක ශූරතා තරගාවලියක කේවල ඉසව්වක් ජය ගත් දෙවන හා අවසාන අවස්ථාවයි. ඔහුට පෙර එම දක්ෂතාව දක්වන්නට මුහම්මද් ලාෆීර් සමත් වූයේ වර්ෂ 1973දී පැවති ලෝක ශූරතා ස්නූකර් තරගාවලියේ දී යි.

වර්ෂ 1973දී ලෝක ශූරතා ස්නූකර් තරගාවලිය ජය ගත් එම්. ජේ. එම්. ලාෆීර් මහතා Courtesey – Sunday Observer

2014 වසරේ පැවති ලෝක කුසලාන කැරම් තරගාවලියේ දී පිරිමි කණ්ඩායම් අනුශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇත. එමෙන්ම එම තරගාවලියේ ස්විස් ලීගය ජයග්‍රහණය කිරීමට ද චමිල් කුරේ සමත් විය.

2016 වසරේ ලෝක ශූරතා කැරම් තරගාවලියේ දී ද චමිල් කුරේ විසින් ස්විස් ලීගය ජයග්‍රහණය කිරීමට සමත් විය. තවද එම තරගාවලියේ දී පිරිමි කණ්ඩායම් ශූරතාව හා කාන්තා අංශයේ යුගල ඉසව්වේ අනුශූරතාවය ද දිනා ගැනීමට ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම සමත් විය.

මෙවැනි ආකාරයේ දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම සමත් වී තිබුණ ද ඔවුන්ට තවමත් මූලික පහසුකම් පිළිබඳව ගැටලු රැසක් තිබේ. ඔවුන්ට තවමත් පුහුණුකරුවෙකු නොමැත. ඔවුන් තම පුහුණුවීම්වල යෙදෙන්නේ ඔවුනොවුන් අතර පුහුණු තරග ක්‍රීඩා කරමිනි. ඔවුන්ට තවමත් පුහුණුවීම්වලට ස්ථිර ස්ථානයක් වත් නොමැත. මෙවැනි අඩු පහසුකම් යටතේ වුවද ඔවුන් මේ දැක්වූ දක්ෂතාව සැබවින්ම අගය කළ යුතුය. ඔවුනට අවශ්‍ය පහසුකම් නොඅඩුව ලබා දෙන්නේ නම් 2020 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා කැරම් තරගාවලියේ දී ද වැඩි ජයග්‍රහණ මව්බිමට රැගෙන ඒමට හැකිවන බව විශ්වාසය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<