මෙසී අසාර්ථක වුනත් ආජන්ටිනාව අවසන් 16 වටයට

පාපන්දු ලෝක කුසලානය 2022

1565

කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අද (30) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට ටියුනීසියාව, ඕස්ට්‍රේලියාව, ආජන්ටිනාව සහ මෙක්සිකෝව සමත් වුනා.

ආජන්ටිනාව සහ පෝලන්තය

පෙර තරගවල දී ලැබුණු ප්‍රතිඵල නිසා අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට කණ්ඩායම් දෙකටම මෙම තරගයේ ප්‍රතිඵලය ඉතා වැදගත් වුනා.

12 වැනි මිනිත්තුවේ දී සුපිරි ක්‍රීඩක Lionel Messi ප්‍රතිවාදී ගෝලයට වේගවත් පහරක් එල්ල කළත්, එය දක්ෂ ලෙස නවතාලීමට පෝලන්ත ගෝල රකින්නාට හැකි වුනා.

කණ්ඩායම් දෙකම පළමු අර්ධයේ ඉතා උණුසුම් අයුරින් තරග වැදුණු අතර 36 වැනි මිනිත්තුවේ දී පෝලන්ත ක්‍රීඩකයෙකු සිදු කළ වරදක් නිසා ආජන්ටිනාවට දඬුවම් පහරක් හිමි වුනා.

සිය කණ්ඩායමට ඉතා වැදගත් වූ එම දඬුවම් පහර එල්ල කිරීමේ වගකීම ගත් සුපිරි ක්‍රීඩක Lionel Messi එල්ල කළ පහර දක්ෂ ලෙස නවතාලීමට පෝලන්ත ගෝල රකින්නාට හැකි වුනේ ආජන්ටිනා ක්‍රීඩකයින් ද පුදුමයට පත් කරමිනුයි.

තීරණාත්මක තරගයේ 46 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ඉතා සාර්ථක ලෙස ගෝලය තුළට එල්ල කරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට ආජන්ටිනා ක්‍රීඩක Alexis Mac Allisterට හැකි වුනා.

ඉන් ටික වේලාවකට පසුව දඬුවම් රාමුව තුළ ලබා ගත් පන්දුවක් පෝලන්ත ගෝල රකින්නා පසු කර සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කිරීමට ආජන්ටිනා ක්‍රීඩක Julian Alvarezට හැකි වුනා.

මෙම ජයග්‍රහණත් සමඟින් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ආජන්ටිනාව සමත් වූ අතර තරගය පරාජයට පත් වූවත් අනෙක් තරගයේ ප්‍රතිඵල මත පෝලන්තය ද අවසන් 16 වටයට සුදුසුකම් ලබා ගත්තා.

අවසන් ලකුණු තත්වය: ආජන්ටිනාව 02 – 00 පෝලන්තය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • ආජන්ටිනාව: Alexis Mac Allister 46’ , Julian Alvarez 67’

සෞදි අරාබිය සහ මෙක්සිකෝව

තරගාවලියේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට සෞදි අරාබියට මෙම තරගය ජය ගැනීම හෝ ජය පරාජයෙන් තොරව අවසන් කිරීම වැදගත් වූ අතර මෙක්සිකෝවට තරගය වැඩි ගෝල ගණනකින් ජය ගැනීම වැදගත් වුනා.

ආරම්භයේ සිටම සෞදි ක්‍රීඩකයින්ට එරෙහිව ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ මෙක්සිකෝ ක්‍රීඩකයින් තරගයේ මුල් භාගයේ එල්ල කළ පහරවල් කිහිපයක්ම වැළැක්වීමට සෞදි ගෝල රකින්නාට හැකි වුනා.

මෙක්සිකෝ ක්‍රීඩකයින්ට ද තරමක අභියෝගයක් එල්ල කරමින් ක්‍රීඩා කිරීමට සෞදි ක්‍රීඩකයින්ට හැකි වූ අතර ඔවුන්ට පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ දී ගෝලයක් ලබා ගැනීමට තිබූ ආසන්නතම අවස්ථාවක් මග හැරී ගියා.

ප්‍රබල ලෙස දෙවැනි අර්ධයට අවතීර්ණ වූ මෙක්සිකෝව වෙනුවෙන් තරගයේ පළමු ගෝලය 47 වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට Henry Martinට හැකි වුනේ පන්දුව ඉතා පහසුවෙන් ගෝලය තුළට එල්ල කරමිනුයි.

එම ගෝලයේ උණුසුම පහව යාමටත් පෙර ක්‍රියාත්මක වූ Luis Chavez 52 වැනි මිනිත්තුවේ දී හිමි වූ නිදහස් පහරක් අලංකාර පන්දු පහරකින් මගින් ගෝලයක් බවට පරිවර්තනය කළා.

ඉක්මන් ගෝල දෙකකින් පසුව තවත් ගෝල වාර්තා කිරීමේ අවස්ථා කිහිපයක් මෙක්සිකෝ ක්‍රීඩකයින්ට හිමි වූ නමුත් ඒවා සාර්ථක කර ගැනීමට නොහැකි වුනේ ප්‍රතිවාදී ගෝල රකින්නාගේ දස්කම් නිසයි.

තරගයේ අවසන් අමතර කාලය අවසන් වීමට මත්තෙන් සෞදි ක්‍රීඩක Salem Al Dawsari ගෝලයක් වාර්තා කළත්, එය තරගයේ වෙනසක් කිරීමට ප්‍රමාණවත් වුනේ නැහැ.

මෙම තරගයට ජයග්‍රහණය කලත් මෙක්සිකෝවට තරගාවලියේ ඉදිරිය අහිමි වූ අතර ආජන්ටිනාව පරදවමින් සටන්කාමී තරගාවලියක් ක්‍රීඩා කළ සෞදි අරාබියට ද තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.

අවසන් ලකුණු තත්වය: සෞදි අරාබිය 01 – 02 මෙක්සිකෝව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • මෙක්සිකෝව: Henry Martin 47’, Luis Chavez 52’
  • සෞදි අරාබිය: Salem Al Dawsari 90+5’

ඕස්ට්‍රේලියා සහ ඩෙන්මාර්ක්

තරගාවලියේ දෙවැනි වටයේ අසුනක් දිනා ගැනීමට ඉතා වැදගත් වූ මෙම තරගයේ 12 වැනි මිනිත්තුවේ දී ඩෙන්මාර්ක් ක්‍රීඩක Mathias Jensen එල්ල කළ පහරක් දක්ෂ ලෙස නවතාලීමට ඕස්ට්‍රේලියා ගෝල රකින්නාට හැකි වුනා.

පළමු අර්ධය තුළ ගෝලයක් ලබා ගැනීමට කණ්ඩායම් දෙකම දැඩි උත්සහයක් දැරුවත් එය සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි වීම නිසා එම අර්ධය ගෝල රහිතව අවසන් වුනා.

සිය කණ්ඩායමට අවශ්‍යම ගෝලය ලබා ගනිමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩක Mathew Leckieට හැකි වුනේ දඬුවම් රාමුව තුළ සිට පන්දුව ගෝලයේ දකුණු කෙළවරට එල්ල කරමිනුයි.

88 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් ගෝල තත්වය සම කිරීමේ අවස්ථාවක් ඩෙන්මාර්කයට හිමි වූ නමුත් එය සාර්ථක කර ගැනීමට නොහැකි වූ නිසා තරගයේ ජය ඕස්ට්‍රේලියාවට හිමි වුනා.

ඒ සමඟින් තරගාවලියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: ඕස්ට්‍රේලියාව 01 – 00 ඩෙන්මාර්කය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • ඕස්ට්‍රේලියාව: Mathew Leckie 60’

ටියුනීසියාව සහ ප්‍රංශය  

වත්මන් ලෝක ශූරයින් වන ප්‍රංශය මෙම තරගයට පෙර සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා තිබූ අතර තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට ටියුනීසියාවට මෙම තරගය ජයග්‍රහණය කිරීම වැදගත් වුනා.

තරගය ආරම්භයේ ම ප්‍රබල ප්‍රංශයට දැඩි පීඩනයක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කිරීමට ටියුනීසියා ක්‍රීඩක Nader Ghandriට හැකි වූවත් එය ක්‍රීඩක අනිසි ස්ථාන ගත වීමක් ලෙස පැති විනිසුරුවරයා සඳහන් කළා.

එම අර්ධයේ පන්දු පාලනයෙන් ඉදිරියෙන් සිටීමට ප්‍රංශයට හැකි වූවත් ගෝලයක් ලබා ගැනීමට ඔවුන්ට ද නොහැකි වීම නිසා පළමු අර්ධය අවසන් වුනේ ගෝල රහිතවයි.

දෙවැනි අර්ධය ආරම්භ වී 51 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබා ගැනීමට ප්‍රංශයට හැකි වූවත්, එය ද ක්‍රීඩක අනිසි ස්ථාන ගත වීමක් නිසා අවලංගු වුනා.

58 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් තනිව දඬුවම් රාමුව තුළට රැගෙනවිත් ගෝලයට එල්ල කරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට ටියුනීසියා ක්‍රීඩක Wahbi Khazriට හැකි වුනේ සිය කණ්ඩායමට අවශ්‍ය වූ පෙරමුණ ලබා දෙමිනුයි.

තරගයේ අවසන් අතිරේක කාලයේ අවසන් මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් ගෝල තත්වය සම කිරීමට ප්‍රංශ ක්‍රීඩක Antoine Griezmannට හැකි වූවත්, එය නැවත නැරඹීමෙන් අනතුරුව ක්‍රීඩක අනිසි ස්ථාන ගත වීමක් ලෙස සලකා ගෝලය අවලංගු කිරීමට විනිසුරුවරයා කටයුතු කළා.

ඒ සමඟින් ලෝක ශූරයින්ට එරෙහිව පෙරළිකාරී ජයග්‍රහණයක් ලැබීමට ටියුනීසියාවට හැකි වූවත් ඕස්ට්‍රේලියාව තම තරගය ජයගෙන තිබූ නිසා ඔවුන්ට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: ටියුනීසියාව 01 – 00 ප්‍රංශය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • ටියුනීසියාව: Wahbi Khazri 58’

පාපන්දු ලෝක කුසලානයේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<