ධනුක වාර්තා තියද්දී තරුෂීගේ පදක්කම් සිහින බොඳ වෙයි

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2022

750

Cali හී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ පිරිමි මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව සහ කාන්තා මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් ධනුක දර්ශන සහ තරුෂි කරුණාරත්න ඊයේ (03) තරග බිමට පිවිසියා.

පිරිමි මීටර් 400 කඩුලු පැනීම  ඉසව්වේ මූලික වටයේ හත්වැනි තේරීම් තරගයට සහභාගී වූ ධනුක එම තරගය තත්පර 51.41ක කාලයකින් අවසන් කළේ දෙවැන්නා ලෙසයි.

එ් සමඟින් එම ඉසව්ව තත්පර 51.96ක කාලයකින් අවසන් කරමින් නවෝද්‍ය සංකල්ප විසින් පිහිටුවා තිබූ 20න් පහළ ජාතික වාර්තාව අලුත් කිරීමට ධනුක සමත් වීමට විශේෂත්වයක්.

ඒ සමඟ ජාතික වාර්තාව බිඳ දමමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ධනුකට හැකි වූ අතර ඔහු සහභාගී වන අවසන් පූර්ව තරගය අනිද්දා (05) අලුයම පැවැත්වීමට නියමිතයි.

ධනුකගේ තරගයෙන් පසුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (04) උදෑසන කාන්තා මීටර් 400 අවසන් පූර්ව තරගය සඳහා තරුෂි කරුණාරත්න සහභාගී වූ අතර තත්පර 54.86ක කාලයකින් ඉසව්ව අවසන් කළ ඇයට හිමි වුනේ හත් වැනි ස්ථානයයි.

එම නිසාවෙන් ඇයට ලෝක ශූරතාවයෙන් ඉවත් වීමට සිදු වූ අතර ඇය මූලික වටයේ දී තත්පර 54.13ක කාලයක් වාර්තා කිරීමට සමත්ව තිබුණා.

තරුෂි මෙවර ලෝක ශූරතාවයේ කාන්තා මීටර් 800 සහ 400 යන ඉසව් ද්විත්වයටම සහභාගී වීමට නියමිතව සිටියත්, තරගාවලියට පැමිණීමේ දී ඇතිවූ ප්‍රමාදයක් නිසා ඇයට මීටර් 800 ඉසව්වට සහභාගි වීමේ අවස්ථාව අහිමි වුනා.

අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ අද (04) දිනයේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කරමින් රුමේෂ් තරංග සහ තුන් පිම්ම ඉසව්ව නියෝජනය කරමින් පසිඳු මල්ෂාන් තරග වැදීමට නියමිත අතර ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (05) අලුයම් කාලයේ ධනුක දර්ශන මීටර් 400 කඩුලු පැනීම අවසන් පූර්ව තරගයට සහභාගී වීමට සූදානමින් සිටී.

මෙම තරගාවලියේ සියලූම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<