තරුෂි මීටර් 400 අවසන් පූර්ව වටයට; අමේෂාගේ සිහින බොඳ වෙයි

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය

1125

කොලොම්බියාවේ Cali හිදී පැවැත්වෙන අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 400 මූලික තරගය නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ කාන්තා මීටර් 400 කඩුලු පැනීමේ මූලික තරගය නියෝජනය කරමින් අමේෂා හෙට්ටිආරච්චි අද (02) තරග බිමට පිවිසියා.

කාන්තා මීටර් 400 ඉසව්වේ තෙවැනි අවසන් පූර්ව තරගයට සහභාගී වූ තරුෂි ඉසව්ව තත්පර 54.23ක කාලයකින් සිව්වැන්නා ලෙස අවසන් කළ අතර ප්‍රථම ස්ථාන හතර දිනා ගත් ක්‍රීඩිකාවන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

තරුෂි සහභාගී වන මීටර් 400 අවසන් පූර්ව තරගය අනිද්දා (04) අලුයම පැවැත්වීමට නියමිතයි.

තරුෂි කරුණාරත්නට පසුව කාන්තා මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ පස්වැනි මූලික තරගයට ක්‍රීඩා කළ අමේෂා එම තරගය මිනිත්තු 1:02.11ක කාලයකින් අවසන් කළේ හත්වැන්නා ලෙසයි.

මූලික තරගවලින් පළමු ස්ථාන තුන ලබා ගත් ක්‍රීඩිකාවන් සහ ඔවුන්ට පසුව වේගවත්ම දක්ෂතා හය වාර්තා කළ ක්‍රීඩිකාවන් පමණක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් නිසා අමේෂාට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

අමේෂාට ද ගුවන් ටිකට් පත් ගැටලුව නිසාවෙන් තරගාවලිය සඳහා පිටත් වීමට සිදු වුනේ අවසන් මොහොතේ වූ අතර ඇය Cali වෙත ළඟා වී තිබුණේ තරගය ආරම්භ වීමට පැය 10කට පමණ පෙරයි.

තරගාවලියේ තෙවැනි දිනය වන හෙට (03) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධනුක දර්ශන මීටර් 400 මූලික තරගයට සහභාගී වීමට නියමිතයි.

එම තරගයේ සහ තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<