අවිශ්කට අපමණ අගයක් ලැබූ Jaffna Kingsලාගේ LPL අරගලය

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

3597

මෙවර Lanka Premier League ක්‍රිකට් තරගාවලිය අවසන් වෙන්නේ පෙර වසරේ නිමාවේ ඡායා පිටපතක් පරිද්දෙන්. ඊට වඩාත් හේතු කාරණා වන්නේ පසුගිය වසරේ මෙන් ම මෙම වසරේ දී ද ශූරයන් බවට පත් වන්නේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් Jaffna Kings කණ්ඩායම වීමයි.

එමෙන් ම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ ද පෙර වසරේ සේ ම Jaffna Kings සහ Galle Gladiators කණ්ඩායම් වීම හේතුවෙන්.

එදා Jaffna Stallions ලෙසින් නම් ලැබූ තිසර පෙරේරාගේ යාපනය කණ්ඩායම Galle Gladiators කණ්ඩායමට එරෙහිව ලකුණු 53ක ජයග්‍රහණයක් ලබා ගන්නවා. මෙදා ඔවුන් තම ජයග්‍රහණය සනිටුහන් කර ගන්නේ ලකුණු 23කින්.

තරගාවලියේ පළමු වටයේ දී Galle Gladiatorsලා ඉදිරියේ සියලු තරග පරාජය වූ Jaffna Kingsලා අවසන් මහා තරගයේ දී ලැබූ මෙම ජයග්‍රහණය Gladiatorsලා බලාපොරොත්තු නොවූවක්.

තරගයේ පළමු අර්ධයේ දී Kingsලා සාර්ථක ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ද, Gladiatorsලා තම ඉනිමේ පළමු අර්ධයේ දී සටන්කාමී ඉනිමක නිරත වෙමින් Kingsලාට භීෂණය මුදා හරිනවා. නමුත් අවසන් අර්ධයේ දී ඒ තත්ත්වය වෙනස් කිරීමට Kingsලා සමත් වෙනවා. එහි ප්‍රතිඵලය ඔවුන් දෙවැනි වරටත් පිට පිට ශූරතාව තමන් සන්තක කර ගැනීමයි.

මේ ජයග්‍රහණය පිටුපස Kingsලාගේ සටන්කාමී ඉනිම් කිහිපයක් ම සනිටුහන් වුනා. ඒ අතරින් තරගාවලියේ කණ්ඩායමක් ලකුණු 200කට වඩා වාර්තා කළ අවස්ථාවන් සියල්ල වාර්තා කිරීමට Jaffna Kingsලා සමත් වීම කැපී පෙණුනා.

ඔවුන් Dambulla Giants කණ්ඩායමට එරෙහිව කඩුලු 4කට ලකුණු 210ක් ද, Colombo Stars කණ්ඩායමට එරෙහිව කඩුලු 6කට ලකුණු 207ක් ද සහ Galle Gladiators කණ්ඩායමට එරෙහිව කඩුලු 3කට ලකුණු 201ක්ද ලබා ගත්තා.

  • අවිශ්ක ප්‍රනාන්දු

තරගාවලියේ මෙන් ම අවසන් තරගයේ දී ද වීරයා වන්නේ Jaffna Kings කණ්ඩායමේ 23 හැවිරිදි ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු. ඔහුට තරගාවලියේ වීරයා වීමට වඩාත් හේතු සාධක පෑදෙන්නේ තරගාවලියේ වාර්තා වූ එක ම ශතකයේ වාර්තාව ඔහු සතු වීම හේතුවෙන් විය යුතුයි.

මෙම ශතකය Lanka Premier League ඉතිහාසයේ දෙවැනි ශතකයයි. පෙර වසරේ දී Colombo Kings ලෙසින් නම් ලද කණ්ඩායමේ විදෙස් ක්‍රීඩක Laurie Evans, Jaffna Stallions කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 108ක් ලබා ගන්නවා.

අවිශ්ක Dambulla Giantsට එරෙහිව පන්දු 64කට මුහුණ දි හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 100ක් ලබා ගන්නවා. එම ඉනිම අවිශ්කගේ විස්සයි විස්ස තරග දිවියේ ඉහළ ම දක්ෂතාව ද වුනා.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් අතරින් දෙවැනි තැන හිමි වෙන්නේ අවිශ්කට. ඔහු ඉනිම් 10ක දී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 312ක් රැස් කරනවා. එහි සාමාන්‍ය 34.66ක්.

අවිශ්කගේ ඉනිම් අතර ඔහු අවසන් මහා තරගයේ දී පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 63ක් වාර්තා කිරීම ද, ඊට පෙර Kandy Warriors කණ්ඩායමට එරෙහිව පන්දු 23කට මුහුණ දෙමින් හයේ පහර 7ක් පමණක් සමඟින් ලකුණු 53ක් වාර්තා කිරීම ද වෙනවා.

  • කුසල් සහ චන්දිමාල්

මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ පළමු වෙන්දේසියේ දී තැනක් නොලැබුණ Galle Gladiators කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්. ඔහු අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 327ක් රැස් කරනවා. ලකුණු 36.33ක සාමාන්‍යයක් පවත්වා ගෙන ගිය ඔහු තරගාවලිය අවසන් කරන්නේ කණ්ඩායමේ විශ්වාසවන්ත ම සගයෙක් බවට පත් වෙමින්.

අවසන් මහා තරගයේ දී පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා ගනිමින් ඔහු පෑ පාලනයකින් යුත් ඉනිම කාගේත් අවධානයට ලක් වුනා. එමෙන් ම ඊට පෙර ඔහු Colombo Starsට එරෙහිව ලකුණු 64ක් ද Jaffna Kings කණ්ඩායමට එරෙහිව ලකුණු 85ක් ද ලබා ගත්තා.

පසුගිය කාලයේ බොහෝ විවේචනයට බඳුන් වූ කුසල් පෑ මේ දක්ෂතාවන් ඔහුගේ ක්‍රිකට් ජීවිතය නැවත ලියැවෙන්නක් බවට පත් වෙනු ඇත.

දිනේෂ් චන්දිමාල් ද මෙවර අවධානයට ලක් වු සුවිශේෂී ක්‍රීඩකයෙක් බවට පත් වුනා. වැඩිම ලකුණුලාභින්ගේ ලැයිස්තුවේ පස් වැනි තැන හිමි වූ චන්දිමාල්ගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 46.16ක්. ඉනිම් 10ක දී ඔහු වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 277ක්. එහි දී Dambulla Giants කණ්ඩායමට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 65 ඔහුගේ හොඳම ඉනිම බවට පත් වුනා.

Most Runs
Player Team Mat Inns NO Runs HS 100 50
කුසල් මෙන්ඩිස් Galle Gladiators 10 10 1 327 85 0 2
අවිශ්ක ප්‍රනාන්දු Jaffna Kings 10 10 1 312 100 1 2
Phil Salt Dambulla Giants 10 10 0 301 64 0 2
Tom Kohler Jaffna Kings 11 11 2 296 92 0 2
දිනේෂ් චන්දිමාල් Colombo Stars 9 9 3 277 65* 0 1
  • මහීෂ් තීක්ෂණ

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙසින් Galle Gladiators කණ්ඩායමේ Samit Patel පෙරමුණ ගත්ත ද, තරගාවලියේ වඩාත් කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත් වූයේ Jaffna Kings කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යවන 21 හැවිරිදි මහීෂ් තීක්ෂණයි.

ඔහු සෑම තරගයක දී ම වඩාත් අත්‍යවශ්‍ය කඩුලු ලබා ගනිමින් හෝ ප්‍රතිවාදීන් පීඩනයට පත් කරමින් පන්දු යැවීම කැපී පෙනුණා. මේ හේතුව නිසාම Jaffna Kings කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා බවට පත් වූයේ ද මහීෂ්. යොවුන් ක්‍රීඩකයෙක් ලෙසින් මහීෂ් ලැබූ මේ ස්ථානය අනාගත ශ්‍රී ලංකාවට කදිම ආයෝජනයක් වනු ඇත.

නිමා වූ තරගාවලියේ දී මහීෂ් ලකුණු 268කට කඩුලු 16ක් ලබා ගන්නවා. ඉන් කඩුලු 8ක් ම Dambulla Giants කණ්ඩායමට එරෙහිව තරග 3ක දි ලබාගැනීමට ඔහු සමත් වෙනවා. ඔහුගේ මෙවර තරගාවලියේ හොඳම පන්දු යැවිම බවට පත් වෙන්නේ Colombo Stars කණ්ඩායමට එරෙහිව ලකුණු 25කට ලබා ගත් කඩුලු 4යි. එය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.

  • ජෙෆ්රි වැන්ඩර්සේ සහ නුවන් තුෂාර

මේ ලැයිස්තුවේ පළමු ස්ථාන 5ට ඇතුලත් නොවුණ ද Colombo Stars කණ්ඩායමේ 31 හැවිරිදි පා දඟපන්දු යැවූ ජෙෆ්රි වැන්ඩර්සේ තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වෙමින් කතා බහට ලක් වුණ චරිතයක් බවට පත් වුනා.

ඔහු  Kandy Warriors කණ්ඩායමට එරෙහිව ලකුණු 25කට කඩුලු 6ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා. එය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ ඉහළ ම දක්ෂතාව ද වුනා.

එමෙන් ම  Galle Gladiators කණ්ඩායමේ දකුණතින් වේගපන්දු යැවූ 27 හැවිරිදි නුවන් තුෂාර ද තම විස්සයි විස්ස දිවියේ හොඳම පන්දු යැවීම මෙම තරගාවලියේ දී වාර්තා කිරීම කැපී පෙණුනා. ඔහු Jaffna Kings කණ්ඩායමට එරෙහිව ලකුණු 13කට කඩුලු 5ක් දවා ගනිමින් මේ අවස්ථාව උදා කර ගත්තා.

Most Wickets
Player Team Mat inns Ov. Md. Runs Wkts Best
Samit Patel Galle Gladiators 10 10 38.0 0 219 16 3/13
මහීෂ් තීක්ෂණ Jaffna Kings 10 10 39.0 1 268 16 4/25
Jayden Seales Jaffna Kings 7 6 20.2 2 159 15 4/13
Imran Tahir Dambulla Giants 10 9 35.0 0 210 15 3/20
සීක්කුගේ ප්‍රසන්න Colombo Stars 8 8 31.0 0 203 13 3/31
  • වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා

තරගාවලියේ කැපී පෙණෙන ක්‍රීඩකයන් අතරට එක් වීමට වනිඳු සහ චතුරංග සහෝදරයන් සමත් වුනා. ඔවුන් දෙදෙනා අතරින් වනිඳු පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 11ක් ද, පිතිකරුවෙක් ලෙසින් ලකුණු 89ක් ලබා ගනිමින් ද තම කණ්ඩායමට දායකත්වය ලබා දෙද්දී චතුරංග පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 7ක් සහ පිතිකරුවෙක් ලෙසින් ලකුණු 39 ද ලබා දෙමින් දායකත්වය දැක් වූවා.

මේ දෙදෙනාගේ දක්ෂතා වඩාත් කැපී පෙනුණේ ප්‍රතිවාදීන් මෙල්ල කිරීමේ දී පන්දු යවන්නන් ලෙසින් නායකත්වයේ වැඩි විශ්වාසය දිනා ගැනීමයි.

  • තිසර – භානුක සහ මැතිව්ස්

තරගාවලියේ වඩාත් කැපී පෙනෙන නායකයා බවට පත් වූයේ Jaffna Kings කණ්ඩායමේ තිසර පෙරේරායි. ඔහු පිතිකරුවෙක් ලෙසින් ඉනිම 9ක දී ලකුණු 190ක් ලබා ගන්නේ අර්ධ ශතක දෙකක් ද සමගින්. පන්දු යවන්නෙක් ලෙසින් ද ඔහු කඩුලු 4ක් ලබා ගන්නවා.

කණ්ඩායම මෙහෙයවීමේ දී සාමූහික තිරණ ගනිමින් ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩකයන් හැසීරවීමේ මනා නිපුණතාවක් ඔහු පෙන්නුම් කළා.

Galle Gladiators කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ ද පරිනත නායකයෙක් ලෙසින් තම කණ්ඩායම පාලනය කිරීම මැනවින් කැපී පෙනුණා. වැඩි කලබලයක් නොමැතිව තරගාවලිය පුරා කටයුතු කළ භානුක පිතිකරුවෙක් ලෙසින් ද සාර්ථක ඉනිම් කිහිපයක් ම ක්‍රීඩා කළා. ඔහු ඉනිම් 9ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 179ක් ලබා ගත්තා.

අවසන් අවස්ථාවේ දී තරගාවලියට එක් වූ Colombo Stars කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධිත තත්ත්වය වුව ද පිතිකරුවෙක් ලෙසින් පෑ දක්ෂතා කාගෙත් කතා බහට ලක් වුනා. ඔහු ඉනිම් 5ක දී අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 191ක් ලබා ගත්තා.

  • ධනුශ්ක ගුණතිලක

තරගාවලියේ අභිෂේක නොලත් පිතිකරුවෙක් ලෙසින් Galle Gladiators ධනුශ්ක ගුණතිලකගේ දක්ෂතා කැපි පෙනුණා. ඔහු තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් අතර හය වැනි තැන ලබා ගනිමින් ඉනිම් 10ක දී ලකුණු 226ක් ලබා ගන්නවා.

අවසන් තරගයේ දී ඔහුගේ දක්ෂතා විශේෂ අවධානයට ලක් වුනා. පන්දු 19කින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් අර්ධ ශතකයක් වාර්තා කරන ධනුෂ්ක පන්දු 21ක දී රැස්කරන ලද ලකුණු 54කින් තම අවසන් ඉනිම නිමා කරනවා.

එම ඉනිම එසේ අවසන් නොවන්නට තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට බොහෝ ඉඩ කඩ තිබුණා. කෙසේ වෙතත් ධනුෂ්කගේ දක්ෂතා ද ඉතා අගය කළ යුතුයි. එමෙන් ම ආරම්භක පිතිකරුවෙක් ලෙසින් කුසල් මෙන්ඩිස් හා එක්ව ගොඩ නැගූ ඉනිම් ද තරගාවලියේ තරගකාරීත්වයට බෙහෙවින් ඉවහල් වුනා.

  • විදෙස් ක්‍රීඩකයන්

තරගාවලියට එක් වූ ක්‍රීඩකයන් අතරින් පිතිකරු ලැයිස්තුවේ ඉහළ ම දක්ෂතා දක්වන්නේ Dambulla Giants කණ්ඩායමේ එංගලන්ත ක්‍රීඩක Phil Salt. ඔහු ඉනිම් 10ක දී අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 301ක් ලබා ගන්නවා. 25 හැවිරිදි ඔහු එංගලන්තය වෙනුවෙන් මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ එක්දින ජාත්‍යන්තර තරග 3කට පමණයි.

ඊට අමතර ව Jaffna Kings නියෝජනය කළ එංගලන්ත ජාතික Tom Kohler ඉනිම් 11ක දී ලකුණු 296ක් ලබා ගන්නවා. 27 හැවිරිදි Tom එංගලන්තය වෙනුවෙන් මෙතෙක් කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගී වී නැහැ.

පන්දු යවන්නන් අතරින් පළමු තැනට පත් වීමට Galle Gladiators කණ්ඩායමේ එංගලන්ත ජාතික 37 හැවිරිදි වමත් දඟපන්දු යැවූ Samit Patel සමත් වෙනවා. Patel 2015 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය අතහැරි ක්‍රීඩකයෙක්. පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි ඔහු ඉනිම් 9ක දී ලකුණු 138ක් ලබා ගැනීමට ද සමත් වෙනවා.

නමුත් මේ සියලු දෙනාට වඩා වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයා මෙන් ම ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක් වූ ක්‍රීඩකයා බවට පත් වුනේ  Jaffna Kings  කණ්ඩායම නියෝජනය කළ ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Rahmanullah Gurbaz.

20 හැවිරිදි Gurbaz ඉනිම් 8කට මුහුණ දෙමින් ලකුණු 207ක් ලබා ගන්නවා. පිතිකරුවෙක් සේ ම කඩුල්ල පිටුපස සිටිමින් දැක්වූ දක්ෂතා ඔහු කෙරහි අවධානය දැක් වීමට වඩාත් හේතු වුවා.

ඊට අමතර ව Jaffna Kings කණ්ඩායමේ 20 හැවිරිදි බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යැවූ  Jayden Seales, Dambulla Giants  නියෝජනය කළ දකුණු අප්‍රිකාවේ 42 හැවිරිදි Imran Tahir  ද තම කණ්ඩායම් වෙනුවෙන් දක්ෂතා දක්වමින් කැපී පෙනුණා.

Lanka Premier League දෙවැනි දිග හැරුම මේ ආකාරයෙන් අවසන් වෙද්දී වැඩි ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වය ද බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වුනා. අවසන් මහා තරගය සඳහා සහභාගී වූ පිරිසගේ ක්‍රීඩා ලෝලීත්වය, උද්වේගය ගෙන ආවේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වයයි.

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<