අලුත් වෙන ටෙස්ට් ක්‍රිකට් නීති අතරට ෆ්‍රී හිට් පහරකුත්

727
marylebone Cricket

වෙනස් වන ලෝකය අනුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ද වෙනස් කරමින් ප්‍රේක්ෂක හදවත් තුළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි ආකර්ෂණයක් ලබා දීම සඳහා හඳුන්වා දෙන නවතම නීති කිහිපය අතරට එක්දින තරග අංශයේ දී නිපන්දුවක් යැවීමේ දී ලබා දෙන නිදහස් පහර හෙවත් ෆ්‍රී හිට් (Free hit) ආකාරයේ පහරක්, ටෙස්ට් ක්‍රිකට් තරග අංශයට ද ලබා දීම කෙරෙහි ක්‍රිකට් ක්‍රීඩාව සඳහා නීති යෝජනා කරන වත්මන් ක්‍රිකට් ලොව ස්වාධීනතම මණ්ඩලය ලෙසින් සැලකෙන එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් කමිටුව අදහස් කරගෙන සිටියි.

යුද්ධය, භීතිය සහ ක්‍රිකට්

යුද්ධය කියන්නේ අපි බොහෝමයක් දෙනාට ඉතා අමිහිරි අත්දැකීමක්. යුද්ධයක් ඇතිවුණාම සමාජයේ…

ඊට අමතරව නව යෝජනාවන් අතර දැනට එක් එක් රටවල භාවිතා කරන විවිධ වර්ගයේ පන්දු වෙනුවට එකම ප්‍රමිතියකින් යුතු පන්දුවක් භාවිතා කිරීම මෙන්ම, තරගයක පන්දුවාර සංඛ්‍යාව ඉක්මනින් අවසන් කරලීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. මෙහි දී ප්‍රධාන වශයෙන්ම පන්දුවාරයක් අවසන් වීමෙන් පසු අනෙක් පන්දුවාරය ආරම්භ කිරීම සඳහා ගතවන කාලය හැකි තරම් අඩු කරලීම එහි මූලික පරමාර්ථය වී තිබෙන අතර ඒ වෙනුවෙන් කාල මාපකයක් භාවිතා කිරීම කෙරෙහි ද අවධානය යොමු වී තිබේ.

මේ වන විටත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ දී විවිධ රටවල් විවිධ පන්දු භාවිතා කරන අතර ඩියුක්ස් (Dukes), එස්. ජී. (SG)  සහ කූකබුරා (Kookaburra) යන පන්දු ඒ අතර ප්‍රධාන වේ. වෙනස් වෙනස් සන්නාම යටතේ වන පන්දු භාවිතා කිරීමේ දී පිත්තත් පන්දුවත් අතර වූ සමබරතාව රැක ගැනීම ගැටලුවක් බවට පත්ව තිබෙන බව එම කමිටුව විසින් හඳුනා ගැනීම නිසා එය එකම වර්ගයකට ගෙන ඒම එම කමිටුවේ බලාපොරොත්තුව බවට පත්ව තිබේ. ටෙස්ට් තරගවල දී ශ්‍රී ලංකාව භාවිතා කරන්නේ කූකබුරා පන්දු වන අතර අසල්වැසි ඉන්දියාව එස්. ජී. වර්ගයේ පන්දු භාවිතා කරයි.

සුපිරි පළාත් ක්‍රිකට් ගැටුමට සුපිරි ක්‍රිකට් තරු රැසක්

දනුෂ්ක ගුණතිලක සහ සඳුන් වීරක්කොඩි එක්ව ගොඩ නැගූ ද්විත්ව ශතක සබඳතා ඉනිම හේතුවෙන්…

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තරග වැදීමේ දී ඩියුක්ස් යන පන්දුව භාවිත කරන අතර අනෙක් සියලුම රටවල් ශ්‍රී ලංකාව භාවිතා කරන ආකාරයේ කූකබුරා පන්දු ඒ සඳහා යොදා ගනියි. කෙසේ වෙතත් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ඉදිරියේ දී ඇරඹීමට නියමිත අළු බඳුන තරගාවලියෙන් පසු පැවැත්වෙන ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී එකම ප්‍රමිතියකින් යුතු පන්දු භාවිතා කිරීම එම කමිටුව මේ වන විටත් තීරණයට පැමිණ සිටියි.

ටෙස්ට් ක්‍රිකට් තරගවල දී දිනකට පන්දුවාර 90ක් යැවෙන අතර ඉකුත් පෙබරවාරි මස එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර්ට තෙවැනි ටෙස්ට් තරගය තහනම් වූයේ එසේ මන්දගාමී ලෙස පන්දු යැවීමට පියවර ගැනීම හේතුවෙනි. එමෙන්ම ඉකුත් කාලයේ දී එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන රටවල් ටෙස්ට් තරග නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ගේ නැඹුරුතාව 25%කින් අඩුවී තිබෙන බව මාර්ලිබෝන් ක්‍රිකට් සමාජ විසින් සිදු කරන ලද සමීක්ෂණයක දී හෙළි කරගෙන තිබේ. පන්දුවාරයක් නිමවා නැවත අලුත් පන්දු වාරයක් ආරම්භ කිරීමේ දී ගත වන කාලය එම තත්ත්වයට හේතු වී තිබෙන බව ද එම සමීක්ෂණයේ දී වැඩිදුරටත් හෙළිකරගෙන තිබේ.

ක්‍රීඩාවේ නිරත වූ ප්‍රවීණයන්ගේ පිරිසකගෙන් සැදුම් ලත් එම ලෝක ක්‍රිකට් කමිටුව ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව නීති යෝජනා කරන ස්වාධීන මණ්ඩලයක් ලෙසින් සැලකෙන අතර හිටපු එංගලන්ත ක්‍රීඩකයකු වන මයික් ගැටිං එහි ප්‍රධානියා ලෙසින් කටයුතු කරනු ලබයි. සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුවට ශ්‍රී ලංකාවෙන් කුමාර් සංගක්කාර සහ කුමාර් ධර්මසේන ඇතුළත්ව සිටීම ද විශේෂත්වයකි. ඔවුන්ට අමතරව සව්රව් ගංගුලි (ඉන්දියාව), ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව), ශකීබ් අල් හසන් (බංග්ලාදේශය), ඉයන් බිෂොප් (බ. ඉ. කොදෙව්), රොඩ්නි මාර්ෂ් (ඕස්ට්‍රේලියාව), ටිම් මේ (ඕස්ට්‍රේලියාව), බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය), රිකී පොන්ටින් (ඕස්ට්‍රේලියාව), රමීස් රාජා (පාකිස්තානය), ජෝන් ස්ටෙවන්සන් (එංගලන්තය), වින්සන්ට් වැන්ඩර බිජී (දකුණු අප්‍රිකාව) සහ සුසී බේට්ස් (නවසීලන්තය) එම කමිටුවේ සාමාජික සාමාජිකාවෝ ලෙසින් කටයුතු කරති.

දනුෂ්ක සහ සඳුන්ගේ පිතිහරඹයෙන් පහසුවෙන්ම ශූරතාවය SSCට

දනුෂ්ක ගුණතිලක සහ සඳුන් වීරක්කොඩි එක්ව ගොඩ නැගූ ද්විත්ව ශතක සබඳතා ඉනිම හේතුවෙන්…

සඳහන් වන ආකාරයට කාල ගණනය පිළිබඳව වන යෝජනාව ලබන අගෝස්තු මස දී හඳුන්වා දීමට නියමිත අතර පන්දු භාවිතය සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ ලබන මැයි මස දී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. ක්‍රිකට් වල ජීවගුණය සම්බන්ධව භාරකරු ලෙස මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය කටයුතු කළ ද එම කමිටුව විසින් යෝජනා කරන යෝජනා සම්මත කර ගැනීමට නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මහ සභා රැස්වීමට ඉදිරිපත් කොට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල අනුමැතිය ලබා ගත යුතු වනු ඇත.

ටෙස්ට් තරග සඳහා ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා පහත පරිදි වේ.

  • නිපන්දුවකට පසු යවන පන්දුවට නිදහස් පහරක් හෙවත් ෆ්‍රී හිට් පහරක් ලබා දීම.
  • ඒකම සන්නාමයකට අයත් රතු පැහැති පන්දුවක් භාවිත කිරීම.
  • පන්දුවාරය අවසන් බවට වූ සංඥාව ලබා දීමෙන් පසු තත්පර 45ක් ඇතුළත ඊළඟ පන්දුවාරය ආරම්භ කරනවා ද යන්න පිළිබඳව.
  • කාල ගණනයට අනුව අදාළ කාල සීමාව අවසන් වීමට පෙර පන්දුවාරය අවසන් කිරීමට අසමත් වුවහොත් අවවාදයකට ලක් කිරීම.
  • එම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් පන්දුවට පහර දෙන කණ්ඩායමට දඬුවම් ලකුණු 5ක් ලබා දීම.
  • කඩුල්ලක් බිඳ වැටුණු පසු යළි තරගයට සූදානම් වීමට ගත කරන කාලය ගණනය කිරීම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<