පොදුරදමඬුලු යන කාන්තා ක්‍රිකට් සංචිතය තෝරා අවසන්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

198

ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල සංචිතය අද (19) තේරීම් කමිටුව විසින් මාධ්‍ය වෙත නිකුත් කළා.

කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක තරගය ජූලි 29 වැනිදා ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි. 

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බාබඩෝස් සහ පාකිස්තානය A කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගී වෙද්දී, ශ්‍රී ලංකාව, සත්කාරක එංගලන්තය, නවසීලන්ත සහ දකුණු අප්‍රිකාව B කාණ්ඩයෙන් තරගාවලිය සඳහා සහභාගී වනවා. 

කාණ්ඩ දෙකේ ප්‍රථම ස්ථාන 2 දිනා ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

එංගලන්තය සත්කාරකත්වය මත තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගනිද්දී, ඉන්දියාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ බාබඩෝස් කණ්ඩායම් සෘජුව තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රේණිගත කිරීම් ඔස්සේයි. 

ශ්‍රී ලංකාව තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ පසුගිය වසරේ පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජයග්‍රහණය කරමිනුයි. ශ්‍රී ලංකාව එහි අවසන් මහා තරගයේ දී බංග්ලාදේශය ලකුණු 22කින් පරාජය කරන්නට සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් වරට සහභාගී වූ විස්සයි විස්ස තරගාවලියේ දී ප්‍රගතිශීලී දක්ෂතා පෙන්වන්නට සමත් වූ අතර එහි දී ඉන්දියාව සමඟ පැවති අවසන් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. කෙසේ නමුත් තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කළේ ඉන්දීය ක්‍රීඩිකාවන් විසිනුයි.

එම සංචාරය සඳහා සහභාගී වූ සංචිතයට ද මෙම ක්‍රීඩිකාවන් 15 දෙනා ඇතුළත් වූ අතර චමරි අතපත්තු කණ්ඩායමේ නායිකාව මෙන්ම තීරණාත්මකම පිතිකාරිණියයි. ඇයට අමතරව හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා සහ කවීෂා දිල්හාරි පිතිකරණය සවිමත් කරද්දී පන්දු යැවීමෙන් අභියෝග කරන්නට ඉනෝකා රණවීර කටයුතු කරනු ඇත.

මෙම ක්‍රීඩිකාවන්ට අමතරව නව යොවුන් ආරම්භක පිතිකාරිණිය වන විශ්මි ගුණරත්න සහ පිට දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකා ඕෂදි රණසිංහ ද ප්‍රතිවාදීන්ට තර්ජනයක් විය හැකි ක්‍රීඩිකාවන්.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගී වන ප්‍රථම තරගය 30 වැනිදා එංගලන්තය සමඟින් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඔවුන් අගෝස්තු 2 වැනිදා නවසීලන්තය සමඟින් ද, අගෝස්තු 4 වැනිදා දකුණු අප්‍රිකාව සමඟින් ද තරග කරනු ඇත. තරග සියල්ල Birmingham හි Edgbaston ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය: චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, මල්ෂා ශෙහානි, නිලක්ෂි ද සිල්වා, කවීෂා ඩිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනි, සුගන්ධිකා කුමාරි, රශ්මි ද සිල්වා, ඕෂදි රණසිංහ, අනුශ්කා සංජීවනි

තරගාවලියේ සියලු උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<