පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 114ක්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

413
Commonwealth Games 2022

මෙම වසරේ ජූලි මාසයේ එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සියලු දේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (30) කොළඹ ඔලිම්පික් නිවහනේ දී පැවැත්වුනා.

ශ්‍රී ලංකා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සංගමයේ සංවිධානයෙන් පැවති මෙම මාධ්‍ය හමුව සඳහා එම ක්‍රීඩා උළෙලේ කණ්ඩායම භාර ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහි දී රැස්ව සිටි පිරිස අමතමින් මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, මෙවර ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 114ක් සහභාගී වීමට නියමිත අතර එයට ක්‍රීඩකයින් 54ක් සහ ක්‍රීඩිකාවන් 60 දෙනෙකු ඇතුළත් බවයි.

එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව එක් එක් ක්‍රීඩා සංගම් මඟින් නම් කළ කණ්ඩායම් නිලධාරීන් 35ක් සහ සහය නිලධාරීන් 16ක් සමඟ 165ක් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙවර ක්‍රීඩා උළෙල සඳහා පිටත් වන බව ඔහු තහවුරු කළා.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ඔලිම්පික් උළෙල මෙන් ක්‍රීඩකයින් සියල්ල එක් ක්‍රීඩා ගම්මානයකට යොමු නොකරන බවත්, ඔවුන් සඳහා වෙන් කරන ලද නවාතැන් පලවල් පහක් පිහිටුවා ඇති අතර එයින් හතරකට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කරන බව ද එතුමා ප්‍රකාශ කළා.

එලෙස ක්‍රීඩකයින් ස්ථාන හතරකට වෙන් කිරීම නිසාවෙන් එක් එක් කණ්ඩායම් සඳහා වෙන වෙනම කණ්ඩායම් බාර නිලධාරීන් පත් කිරීමට සිදු වන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

CGB, CGW, CGC, CGN සහ SVL ලෙස එම නවාතැන් ස්ථාන 5 වෙන් කර ඇති අතර එයින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා CGB, CGW, CGC, CGN යන නවාතැන් ස්ථාන හිමි වනවා.

මෙම තරගාවලිය සඳහා පළමු ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි 25 වැනිදා දිවයිනෙන් පිටත් වීමට නියමිත අතර ඔවුන්ට පෙර මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා එංගලන්තයට පිටත් වීමට නියමිතයි.

තරගාවලිය සඳහා නම් කර තිබූ විශාල පදක්කම් බලාපොරොත්තුවක් සහිත ක්‍රීඩකයෙකු වූ උෂාන් තිවංක පෙරේරා පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීමෙන් පසුව ඉතිරි වූ අවසන් ක්‍රීඩක ලැයිස්තුව තරගාවලියේ සංවිධායකයින් වෙත යොමු කර ඇති බව ද දම්පත් මහතා ප්‍රකාශ කළා.

තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් විදෙස් රටවල්හී පුහුණුවීම් කටයුතු කරන කෙටිදුර ධාවක යුපුන් අබේකෝන්, ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් වන මිල්කා ගෙහානි සහ Anna-Marie Ondaatje, ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මරත්න සහ හංගේරියාවේ පුහුණුවීම් වල නිරත වන Wrestling ක්‍රීඩකයින් එංගලන්තයට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 28ගේ ගුවන් ටිකට් පත් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සපයන අතර පොදුරාජ්‍ය මණ්ඩලීය අරමුදල හරහා ඉතිරි ටිකට් පත් සපයනු ලබයි.

තරගාවලියට සහභාගී වන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සියලූම වියදම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරන බව ද දම්පත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම ඉතිහාසයේ පළමු වරට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා පිටත් වන ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් ගණනට වඩා ක්‍රීඩිකාවන් ගණන වැඩි බව ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී සුරේෂ් සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළා.

එම ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය හිමි වන්නේ කා හට දැයි තවමත් තීරණය කර නොමැති බවත්, එම නායකත්වය හිමිවන්නා සහ සම්පූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව ද ඔවුන් එහි දී වැඩි දුරටත් ප්‍රකාශ කළා.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි 28 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා එංගලන්තයේ Birmingham හිදී පැවැත්වීමට නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<