යුපුන් මූලික වටයේ 5 වැනි තැනට

ලෝක මලල ක්‍රීඩා ශූරතාවය 2022

1922
Yupun Abeykoon

ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ පිරිමි මීටර් 100 මූලික වටයේ තරගවලට සහභාගී වූ ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් තමන් සහභාගී වූ මූලික වටයේ තරගයේ දී 5 වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (16) උදෑසන පැවති මෙම තරගය තත්පර 10.19ක කාලයකින් අවසන් කිරීමට ඔහු සමත් වුනත්, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා එම දක්ෂතාවය ප්‍රමාණවත් වුනේ නැහැ.

ලෝක මලල ක්‍රීඩා ශූරතාවයක් ඇමරිකාවේ දී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර යුපුන් එයට සුදුසුකම් ලැබුවේ ලෝක ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 1239ක් ලබා ගනිමින් 42 වැන්නා ලෙසයි.

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන යුපුන් ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට පෙර සහභාගී වූ තරගයක දී මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක කාලයකින් අවසන් කරමින් තත්පර 10කට අඩු කාලයකින් මීටර් 100 ඉසව්ව අවසන් කළ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වුනා.

එමෙන්ම මෑත කාලයේ දී මීටර් 100 ඉසව්වේ ඉහළ දස්කම් දැක්වූ ඔහු මෙම මාසය අවසානයේ දී ආරම්භ වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වට ද සහභාගී වීමට නියමිතයි.

ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ ශ්‍රී ලාංකිකයෙකු සහභාගී වන දෙවැනි තරගය ලෙස නිලානි රත්නායක අද (16) රාත්‍රියේ දී කාන්තා මීටර් 3000 ඉසව්වේ මූලික තරගයට සහභාගී වීමට නියමිතයි.

එම තරගයේ තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<