චනිත්මා අර්ධ අවසන් පූර්ව වටයට; අකලංක ජාතික වාර්තාව අලුත් කරයි

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

802

බර්මින්හැම් නුවර දී පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඊයේ (31) පැවති තරගවල දී සුවිශේෂී තරග නිමාවක් වාර්තා කිරීමට බර ඉසිලීමේ ක්‍රීඩක චතුරංග ලක්මාල් සමත් වුනා.

මීට පෙර පැවති 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කිලෝග්‍රෑම් 56 බර පංතියේ ලෝකඩ පදක්කම දිනා ගත් චතුරංග, මෙවර ක්‍රීඩා උළෙලේ දී පදක්කමක් දිනා ගනිතැයි අනුමාන කළ ක්‍රීඩකයෙක්. කෙසේ වෙතත් ඊයේ ඔහුට තමන් සහභාගී වූ කිලෝග්‍රෑම් 67 බර පංතියෙන් දිනා ගැනීමට හැකි වූයේ 5 වැනි ස්ථානයයි.

චතුරංග Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 119ක් සහ Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 140ක් ලෙසින් සමස්ත බර 259ක් ඔසවමින් මෙම ස්ථානය දිනා ගත්තා.

බර ඉසිලීමේ ක්‍රීඩක චතුරංග ලක්මාල්
බර ඉසිලීමේ ක්‍රීඩක චතුරංග ලක්මාල්

මේ අතර පිරිමි බර ඉසිලීමේ කිලෝග්‍රෑම් 61 බර පංතියෙන් ඊයේ තරග පිටියට පිවිසි තිලංක පලඟසිංහ තරගය අවසන් නොකරමින් පිටියෙන් ඉවත් වුනා. ඔහු Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 100ක බරක් ඔසවමින් එම කාණ්ඩයෙන් 6 වැනියා වූ අතර Clean & Jerk ක්‍රමයේ දී ඔහුට නිසි

ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් තරගය අවසන් නොකළ ක්‍රීඩකයෙක් ලෙසින් පිටියෙන් ඉවත් වීමට සිදු වුනා.

ඉන්දික දිසානායක ඊයේ රාත්‍රියේ බර එසවීමේ තරග බිමට පිවිසියේ කිලෝග්‍රෑම් 73 බර පංතියෙන්. නමුත් ඔහුට තම ඉසව්වෙන් ඉදිරියට යෑමට හැකි වූයේ නැහැ. Snatch ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 133ක බරක් ඔසවමින් සිව්වැනියාට ශ්‍රේණිගත වූව ද, Clean & Jerk ක්‍රමය යටතේ නිසි ආරම්භයක් ගැනීමට නොහැකි වීමෙන් ඔහුට ද පිටියෙන් ඉවත් වීමට සිදු වුනා.

ස්කොෂ්

පලඟ වටයේ අවසන් 16 දෙනාගේ තරගයට ක්‍රීඩා කළ චනිත්මා සිනාලි 3-0ක් ලෙස බොට්ස්වානා ක්‍රීඩිකා Naomi Phatsima පරාජය කරමින් පලඟ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

වට තුනකින් සමන්විත වූ එම තරගය 11-5ක්, 11-1ක් සහ 11-5ක් ලෙස අවසන් කරන්නට චනිත්මා සමත් වුනා.

පිහිනුම්

ශ්‍රී ලංකාවේ පිහිනුම් වාර්තා කිහිපයක ම හිමිකාරිත්වය දරණ 22 හැවිරිදි අකලංක පීරිස් ඊයේ තම මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඉදිරි ගමනට තිත තැබුවා.

ඔහු පළමුවෙන් ම සහභාගී වූයේ පිරිමි මීටර් 50 සමනළ ආර ඉසව්වටයි. එහි දී තත්පර 24.89කින් තරගය අවසන් කළ ඔහුට හිමි වූයේ 22 වැනි ස්ථානයයි. අනතුරුව පිරිමි මීටර් 50 පසුපස ආර මූලික වටයට සහභාගී වූ අකංලක එම ඉසව්ව නිමා කිරීමට ගත් කාලය තත්පර 26.15ක්. එහි දී ඔහුගේ දක්ෂතාවට හිමි වූයේ 21 වැනි ස්ථානයයි. කෙසේ නමුත් ඔහුගේ දක්ෂතාවය නව ජාතික වාර්තාවක් ලෙස වාර්තා පොත් අතරට එකතු වුනා.

ජිම්නාස්ටික්

ජිම්නාස්ටික් Artistic පිරිමි ඉසව්වේ අවසන් මහා තරගය නියෝජනය කළ රුචිර ප්‍රනාන්දුට එම ඉසව්ව නිමාවේ දී ලබා ගැනීමට හැකි වූයේ 16 වැනි ස්ථානයයි. එහි දී ඔහු අදියර 6ක දී වාර්තා කරන ලද මුළු ලකුණු ප්‍රමාණය 65.050ක්.

මෙම ඉසව්වේ රන් සහ රිදි පදක්කම් දෙක ම දිනා ගැනීමට එංගලන්තය සමත් වෙද්දී ලෝකඩ පදක්කම දිනා ගත්තේ සයිප්‍රසයයි.

මේ අතර ජිම්නාස්ටික් කාන්තා ඉසව්වට සහභාගී වූ 19 හැවිරිදි මිල්කා ගෙහානි මූලික වටයේ අදියර 4කින් ලකුණු 45.200ක් ලබා ගනිමින් 19 වැනි ස්ථානයට පත් වුනා.

ඒ සමඟම අවසන් තරග වටයට සුදුසුකම් ලැබූ ඇය ඊයේ එම අවස්ථාව උදා කර ගත්තේ මෙම ඉසව්වේ ඇයගේ සහභාගීත්වය යහපත් අවසානයක බලාපොරොත්තුවක් බවට පත් කරමින්.

නමුත් එය ඉටු කිරීමට ඇයට නොහැකි වුනා. ඒ අදියර 4කින් යුත් තරගයේ ඇයට ලකුණු ලබා ගැනීමට හැකි වූයේ අදියර දෙකකින් පමණක් වීම නිසයි.

බැඩ්මින්ටන්

බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ අවසන් පූර්ව වටය නියෝජනය කළ ශ්‍රී ලංකාව ඊයේ මැලේසියාව සමඟ පැවති තරගය 3-0ක් ලෙස පරාජයට පත් වෙමින් තම ගමන එතෙකින් අවසන් කළා.

ඔවුන් සහභාගී වූ මිශ්‍ර යුගල ඉසව්ව, පිරිමි කේවල ඉසව්ව සහ කාන්තා කේවල ඉසව්ව පරාජය වීම හේතුවෙන් සහභාගී වීමට නියමිතව තිබූ අනෙකුත් ඉසව් වූ පිරිමි සහ කාන්තා යුගල ඉසව් පැවතියේ නැහැ.

ඒ අනුව ඊයේ දවසේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග බිමට පිවිසියේ මිශ්‍ර යුගල ඉසව්ව වෙනුවෙන් සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා, පිරමි කේවල ඉසව්වේ දී නිලූක කරුණාරත්න සහ කාන්තා කේවල ඉසව්ව වෙනුවෙන් සුහස්නි විදානගේ.

මලින්ත යාපා සහ අෂේන් රශ්මික

වෙරළ වොලිබෝල

වෙරළ වොලිබෝල් ඉසව්වේ පිරිමි මූලික වටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ කැනඩාව ඉදිරියේ තරග වට 2-0ක පරාජයක් ලැබුවා. එම තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලින්ත යාපා සහ අෂේන් රශ්මික සහභාගී වූ අතර ඔවුන්ට ප්‍රතිවාදීන් හමුවේ ලබා ගත හැකි වූයේ 21-13ක් සහ 21-12ක් ලෙසයි.

ඔවුන්ගේ මීළඟ තරගය ගැම්බියාවට එරෙහිවයි. එම තරගය අගෝස්තු 2 වැනිදා පැවැත්වීමට නියමිතයි.

3×3 පැසිපන්දු

පිරිමි පැසිපන්දු ඉසව්වේ දී කණ්ඩායම් 4කින් පෙළ ගැසුණ A කාණ්ඩය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ සිව්වැනි ස්ථානයයි. ඒ ඔවුන් අවසන් වරට සහභාගී වූ කැනඩාව සමඟ තරගයේ දී  ලකුණු 21-8කින් පරාජය වීමත් සමඟින්.

ඔවුන් ඊට පෙර ස්කොට්ලන්තය (16-9) සහ කෙන්යාව (21-18) වෙතින් ද පරාජය ලැබුවා. කණ්ඩායම නියෝජනය කරමින් සිම්රොන් යෝගනාතන්, ජනිත් චතුරංග, සුපුන් රුක්ෂාන් සහ ආර්නෝල්ඩ් තෙවකුමාර් සහභාගී වුනා.

මේ අතර කාන්තා පැසිපන්දු තරගාවලියට එක්වූ කාන්තා කණ්ඩායමට ද A කාණ්ඩයෙන් හිමි වූයේ සිව්වැනි ස්ථානය. ඔවුන් ඊයේ ඕස්ට්‍රේලියාව සමඟ අවසන් වරට තරග වැදුණ අතර එහි දී ලකුණු 21-2ක පරාජයකට මුහුණ දීමට සිදු වුනා. ඊට පෙර ඔවුන් කෙන්යාව (21-8) සහ ස්කොට්ලන්තය (21-5) වෙතින් ද පරාජය පත් ව සිටියා.

ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරමින් නිහාරි පෙරේරා, චලනි පෙරේරා, ෆාතිමා මෝසෙත් සහ රශ්මි පෙරේරා සහභාගී වුනා.

බොක්සිං

කිලෝග්‍රෑම් 63.5 බර පංතිය නියෝජනය කරමින් මූලික වටයේ තරග පිටියට පිවිසි සංජීව බණ්ඩාර තමන් මුහුණ දුන් පළමු තරගයෙන් ම පරාජය පත් වෙන්නට සිදු වුනා. එංගලන්ත ක්‍රීඩක Joseph Tyers සමඟ තරග වැදුණ ඔහු තරගය නිමා කරද්දී කිසිදු ලකුණක් වාර්තා කිරීමට සමත් වුනේ නැහැ.

අද (01) දවසේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග කාලසටහන

ක්‍රීඩාව ඉසව්ව වේලාව (ශ්‍රී ලංකා වේලාවෙන්)
බර එසවීම පිරිමි 81kg (චින්තන විතානගේ) දහවල් 2:00
ජූඩෝ පිරිමි 60kg 16 දෙනාගේ වටය (විමුක්ති ප්‍රේමරත්න) දහවල් 2:30
ජූඩෝ කාන්තා 48kg 16 දෙනාගේ වටය (චමිලා මාරුපිල්ලගේ) දහවල් 2:30
පිහිනුම් කාන්තා මීටර් 200 පසුපසුආර මූලික වටය (ගංගා සෙනවිරත්න) සවස 3:04
ස්කොෂ් කාන්තා කේවල පලඟ අර්ධ අවසන් පූර්ව තරග (චනිත්මා සිනාලි) සවස 4:30
බොක්සිං පිරිමි flyweight බර පන්තිය 16 දෙනාගේ වටය (ඉෂාන් සෙනෙවිරත්න) රාත්‍රි 11:15
බොක්සිං පිරිමි ‍Featherweight බර පන්තිය 16 දෙනාගේ වටය (ජීවන්ත කුමාර) මධ්‍යම රාත්‍රි 12:30

 

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<