ක්‍රීඩා අමාත්‍යාංශයෙන් බොක්සිං වෙත මිලියන 50ක්!

119

බොක්සිං ක්‍රීඩාවෙන් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකර ගැනීමේ අරමුණ ඇතිව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නැංවීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (09) ශ්‍රී ලංකා බොක්සිං සංගමය සමඟ ගිවිසුම්ගත වෙමින් ඔවුන්ට මූල්‍යමය ප්‍රදානයක් ලබා දුන්නේය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ  ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.

මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව සහ උසස් දක්ෂතා කමිටුව විසින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත හැකි බවට නිර්දේශ කරමින් ප්‍රමුඛත්වය දිය යුතු බවට නිර්දේශ කළ ක්‍රීඩාවන් අතරට බොක්සිං ක්‍රීඩාව ද ඇතුළත්ය.

බොක්සිං ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව රුපියල් 50,124,540/-ක මුදලක් ශ්‍රී ලංකා බොක්සිං සංගමය වෙත මෙම ගිවිසුමට සමගාමීව ප්‍රදානය කෙරිණි.

එහි දී අමාත්‍යවරයා මෙසේ ද කීය.

බොක්සිං ක්‍රීඩාව අපේ රටට ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගත හැකි ක්‍රීඩාවක් ලෙස අපි හඳුනා ගෙන තිබෙනවා. 

බොක්සිං ක්‍රීඩාව අපේ රටේ ඉතා ප්‍රචලිත ක්‍රීඩාවක්. ඉදිරියටත් රට තුළ ප්‍රචලිත කළ හැකි ක්‍රීඩාවක්. 

ජාතික ක්‍රීඩා කවුන්සිලය ඒ හැකියාවන් හඳුනා ගෙන මේ වන විට  දිගුකාලීන සැලැස්මක් එක්ක බොක්සිං ක්‍රීඩාව සමඟ එකමුතුව වැඩ කරන්න තීරණය කර තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ අනුග්‍රාහකයින්ගේ හා දානපතියන්ගේ මුදල් මත තමයි බොක්සිං ක්‍රීඩාව කරගෙන ආවේ. රාජ්‍ය මැදිහත් වීම ඉතා අවම වශයෙන් තිබුණේ.

කනිෂ්ඨ සංචිතයේ සිට ජාතික සංචිතය දක්වාත්, ආසියානු තරගාවලිය හා පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය දක්වාත්, පසුගිය ඔලිම්පික් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඒ මට්ටම්වලටත් යන්න පුළුවන් ආකාරයේ දිගු කාලීන සැලැස්මක් එහි සභාපති ඩයන් ගෝමස් මහතා සමඟ  එකතු වෙලා අපි සකස් කරලා තිබෙනවා.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ජාතික ක්‍රීඩා කවුන්සිලයේ උපදෙස් මත ඔවුන්ට අවශ්‍ය මූල්‍ය සහාය ලබා දෙන්නත්, එය අධීක්ෂණය කිරීමටත්, ඉදිරියේ දී බොක්සිං ක්‍රීඩාව ලංකාවේ ඉතාම ප්‍රචලිත ප්‍රමුඛ පෙළේ ක්‍රීඩාවක් බවට පත් කිරීමටත් අපි කටයුතු කරනවා.

බොක්සිං ක්‍රීඩාව හරහා සංචාරක ව්‍යාපාරයට ලැබෙන දායකත්වය වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළ  ක්‍රීඩා ආර්ථිකයට ලැබෙන දායකත්වය අපි ගොඩනගනවා.

උසස් දක්ෂතා දක්වන ක්‍රීඩකයින් හට පුහුණු කටයුතු කරගෙන යන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශවලට අනුකූලව අපි අවසර අරගෙන තිබෙනවා. 

COVID-19 එන්නත්කරණය ඉතා සාර්ථකව සිදු කරගෙන යන නිසා නොවැම්බර් මාසයේ සිට සාමාන්‍ය විදියට ක්‍රීඩා කටයුතු ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ක්‍රීඩා කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ වන විට එන්නත්කරණය සිදු කරගෙන යනවා. 

ක්‍රීඩා සංගම් සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අතිගරු ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර අවසර ලබාගෙන තිබෙනවා.

බයෝ බබල් එකක් තුළ ක්‍රීඩා කරන්න රග්බි ක්‍රීඩා සමාජවලට අපි ආරාධනා කළා. මේ වන විටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවත්, C.H. කණ්ඩායමත් රග්බි තරගාවලියක් පවත්වන්න අවසර ඉල්ලලා තිබෙනවා. ඉදිරි කාලසීමාවේ දී සෞඛ්‍ය අමාත්‍යංශ නිර්දේශ අනුව තරගාවලි ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ නිලධාරි මහත්ම මහත්මීහු  පිරිසක් සහභාගි වූහ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<